කැනඩාවේ ක්විබෙක් ප්රදේශයේ සංචාරයක් සැලසුම් කරමින් සිටි ආධුනික තාරකා විද්යාඥයෙක් ගූගල් මැප්ස් හරහා අහඹු ලෙස දැකපු අමුතු භූමි ප්රදේශයක් අද ලෝකයේම අවධානය දිනාගෙන තියෙනවා. මේක වසර මිලියන 390ක් පැරණි දැවැන්ත උල්කාපාත ආවාටයක් බවයි විද්යාඥයන් තහවුරු කරගෙන ඉන්නේ. කිලෝමීටර් 25ක විතර විශාලත්වයකින් යුත් මේ ආවාටයට ‘උහක්කාටික්’ (Uhackatik) කියලා නම තියලා තියෙනවා. මේ ප්රදේශයේ සිදුකළ ගවේෂණවලදී උල්කාපාතයක් ගැටීමෙන් ඇතිවන පාෂාණ විකෘතිතා සහ දියවී ගිය පාෂාණ කොටස් පවා සොයාගන්න ලැබීම විද්යාඥයන්ට ලොකු පුදුමයක් වුණා.
මේ සොයාගැනීම සිදුකළ භූ විද්යාඥ ගෝර්ඩන් ඔසින්ස්කි පවසන විදිහට, මෙවැනි පැරණි ආවාටයක් හොඳින් සංරක්ෂණය වී තිබීම ඉතාම දුර්ලභයි. මේ ආවාටය හරහා අභ්යවකාශයේ තියෙන සඳ, අඟහරු වගේ ග්රහලෝකවල සිදුවන උල්කාපාත ගැටීම් ගැන තවදුරටත් අධ්යයනය කරන්න විද්යාඥයන්ට ලොකු පිටුවහලක් ලැබෙනවා. විශේෂයෙන්ම නාසා ආයතනයේ ආටෙමිස් සඳ ගවේෂණ මෙහෙයුම් සඳහා පුහුණුව ලබන ගගනගාමීන්ටත් මෙවැනි ආවාට අධ්යයනය කිරීම ඉතාම වැදගත් වෙනවා. ඉදිරියේදී මේ ගැන තවත් පර්යේෂණ සිදුකරන අතර, අගෝස්තු මාසයේ ජර්මනියේ පැවැත්වෙන තාරකා විද්යා සමුළුවකදී මේ පිළිබඳ සම්පූර්ණ වාර්තාව ඉදිරිපත් කරන්න නියමිතයි.

Discussion & Feedback