කැනඩාවේ ක්විබෙක් ප්රදේශයේ සංචාරයක් සැලසුම් කරමින් සිටි ආධුනික තාරකා විද්යාඥයෙක් ගූගල් අර්ත් සිතියම් පරීක්ෂා කරද්දී අමුතුම ආකාරයේ භූමි ප්රදේශයක් දැකගන්න ලැබුණා. මේ ගැන වැඩිදුර පරීක්ෂණ කරද්දී තමයි දැනගන්න ලැබුණේ මෙය මීට වසර මිලියන 390කට පෙර පෘථිවිය මත පතිත වූ දැවැන්ත උල්කාපාතයකින් ඇති වූ ආවාටයක් බව. කිලෝමීටර් 25ක් පමණ පළලින් යුත් මෙම ආවාටයට ‘උහක්කාටික්’ (Uhackatik) ලෙස නම් තබා තිබෙනවා. ප්රවීණ භූ විද්යාඥ ගෝර්ඩන් ඔසින්ස්කි ඇතුළු පිරිසක් එම ස්ථානයට ගොස් සිදුකළ ගවේෂණවලදී, උල්කාපාත ගැටීමකින් ඇති වන විශේෂිත පාෂාණ විකෘතිතා සහ උණු වී නැවත සිසිල් වූ පාෂාණ කොටස් සොයාගන්න පුළුවන් වුණා.
මෙම සොයාගැනීම අභ්යවකාශ විද්යාවට ඉතා වැදගත් වන්නේ, පෘථිවියේ සිදුවන භූ විද්යාත්මක වෙනස්කම් සහ ඛාදනය නිසා මෙතරම් පැරණි ආවාටයක් මෙතරම් හොඳින් ආරක්ෂා වී තිබීම ඉතා දුර්ලභ නිසයි. විද්යාඥයන් පවසන විදිහට, සඳ මත සහ අඟහරු වැනි ග්රහලෝකවල ඇති ආවාට ගැන අධ්යයනය කිරීමට මෙම සොයාගැනීම කදිම මඟ පෙන්වීමක් වෙනවා. විශේෂයෙන්ම නාසා ආයතනයේ ආටෙමිස් සඳ ගවේෂණ මෙහෙයුම් සඳහා පුහුණුව ලබන ගගනගාමීන්ටත් මෙවැනි ආවාට අධ්යයනය කිරීම විශාල පිටුවහලක්. ඉදිරියේදී මෙම ආවාටය පිළිබඳ වැඩිදුර පර්යේෂණ වාර්තා ජර්මනියේ පැවැත්වෙන ජාත්යන්තර සමුළුවකදී ඉදිරිපත් කිරීමට නියමිතයි.

Discussion & Feedback