ලෝක ප්රසිද්ධ ‘ස්ටාර් වෝර්ස්’ (Star Wars) සිනමා නිර්මාණවලට අතිවිශාල දායකත්වයක් ලබාදුන් කැලිෆෝනියාවේ බර්ක්ලි නුවර පිහිටි ‘ටිපට් ස්ටුඩියෝ’ (Tippett Studio) ආයතනය වසර තිහකට පසුව සිය දොරගුළු වසා දැමීමට තීරණය කරලා තියෙනවා. මේ ස්ටුඩියෝවේ හිමිකරු වන ෆිල් ටිපට්, මුල්ම ස්ටාර් වෝර්ස් ත්රිත්වයේ නිර්මාණ කටයුතු සඳහා සෘජුවම දායක වුණු ප්රවීණ ශිල්පියෙක්. මේ නිසාම ස්ටුඩියෝව වසා දැමීමට සමගාමීව, එහි තිබුණු වටිනා ස්ටාර් වෝර්ස් අනුරූ, කැමරා උපකරණ සහ නිෂ්පාදන කටයුතුවලට යොදාගත් භාණ්ඩ රැසක් වෙන්දේසි කිරීමට නියමිතයි. අගෝස්තු 28 සිට 30 දක්වා පැවැත්වෙන මේ විශේෂ වෙන්දේසියේදී රසිකයන්ට සිනමා ඉතිහාසයේ සුවිශේෂී නිර්මාණ දැකගන්න වගේම මිලදී ගන්නත් අවස්ථාව ලැබෙනවා.
ටිපට් ස්ටුඩියෝව 1984දී ආරම්භ වුණත්, ෆිල් ටිපට් මීට පෙර ‘ඉන්ඩස්ට්රියල් ලයිට් ඇන්ඩ් මැජික්’ ආයතනය හරහා ස්ටාර් වෝර්ස් චිත්රපටවලට විශාල මෙහෙයක් කළා. විශේෂයෙන්ම ‘ද එම්පයර් ස්ට්රයික්ස් බැක්’ චිත්රපටයේ එන AT-AT වෝකර්ස් සහ ජාබා ද හට්ගේ මාලිගාවේ සිටි පිටසක්වල ජීවීන් නිර්මාණය කළේ ඔහුයි. ස්ටාර් වෝර්ස්වලට අමතරව ජුරාසික් පාර්ක්, රොබෝකොප් වගේ ලෝක ප්රසිද්ධ චිත්රපට රැසක දෘශ්ය ප්රයෝග සඳහාත් මේ ආයතනය දායක වුණා. පසුගිය කාලයේ ‘ද මැන්ඩලෝරියන්’ වැනි නිර්මාණවලටත් ඔවුන්ගේ දායකත්වය ලැබුණා. මේ ස්ටුඩියෝව වසා දැමීම සිනමා ලෝලීන්ට නම් ඇත්තටම සංවේදී පුවතක් වේවි.

Discussion & Feedback