චිලී රටේ සෙරෝ පචෝන් කඳු මුදුනේ පිහිටි ජෙමිනායි දකුණු නිරීක්ෂණාගාරයෙන් අහස දෙසට විහිදෙන අලංකාර ලේසර් කිරණක් සහිත ඡායාරූපයක් මේ දිනවල අන්තර්ජාලය තුළ බොහෝ දෙනාගේ අවධානය දිනාගෙන තියෙනවා. පෙට්ර හොරාලෙක් නම් ඡායාරූප ශිල්පියා විසින් ලබාගත් මේ අපූරු දසුන දකින ඕනෑම කෙනෙකුට සිතෙන්නේ අභ්‍යවකාශ යානයක් පෘථිවියෙන් යමක් උරා ගන්නා බවයි. නමුත් ඇත්තටම මෙතන සිදුවෙන්නේ වෙනත් දෙයක්. මේ ලේසර් කිරණ මගින් අහසේ කෘතිම තරුවක් නිර්මාණය කරනවා. දුරේක්ෂයේ කාච හරහා එන ආලෝකය වායුගෝලය නිසා විකෘති වීම වැළැක්වීමට සහ නිරීක්ෂණ කටයුතු වඩාත් නිවැරදිව සිදු කිරීමට මේ කෘතිම තරුව උපකාරී වෙනවා.
මේ කඳුකර ප්‍රදේශය තාරකා විද්‍යාඥයන්ගේ පාරාදීසයක් ලෙස හඳුන්වන්න පුළුවන්. නගරවල ඇති ආලෝක දූෂණයෙන් තොර, ඉතා ඉහළ උන්නතාංශයක පිහිටි නිසා මෙතැන සිට ක්ෂීරපථයේ හදවත ඉතා පැහැදිලිව නිරීක්ෂණය කරන්න පුළුවන්. ඡායාරූපයේ දැක්වෙන වර්ණවත් වායු සහ දූවිලි පටල අපේ මන්දාකිණියේ ඇති සුන්දරත්වය මනාව කියාපානවා. මේ ඡායාරූපය දෙස බලන විට අපට දැනෙන්නේ හරියටම එම කඳු මුදුනට ගොස් විශ්වයේ අසිරිය දෑසින්ම දකිනවා වැනි හැඟීමක්. විද්‍යාව සහ කලාව එකට මුසු වූ මෙවැනි දසුන් අපේ විශ්වය ගැන තව තවත් උනන්දුවක් ඇති කිරීමට හේතු වෙනවා.

Discussion & Feedback