ලොව විශාලතම නැව්ගත කිරීමේ සහ සැපයුම් දාම සමාගමක් වන Ceva Logistics වෙත එල්ල වූ සයිබර් ප්රහාරයක් හේතුවෙන් මේ වන විට ලොව පුරා පාරිභෝගිකයන් විශාල පිරිසක් දැඩි අපහසුතාවයට පත්වෙලා. පසුගිය ජූලි 29 වැනිදා ආරම්භ වූ මෙම ප්රහාරය නිසා යුරෝපයේ පිහිටි ඔවුන්ගේ ගබඩා අටක කටයුතු සම්පූර්ණයෙන්ම අඩාල වෙලා තියෙනවා. මේ නිසා භාණ්ඩ බෙදා හැරීමේ ප්රමාදයන් මෙන්ම ඇණවුම් අවලංගු කිරීම් පවා සිදුවෙමින් පවතින බවයි වාර්තා වෙන්නේ.
මෙම ප්රහාරයේ බරපතලම පැත්ත තමයි පාරිභෝගිකයන්ගේ පෞද්ගලික දත්ත සොරකම් කිරීම. Valve, Bol, ING බැංකුව සහ Ajax පාපන්දු සමාජය වැනි ප්රමුඛ පෙළේ ආයතනවල පාරිභෝගිකයන්ගේ නම්, ලිපිනයන්, දුරකථන අංක සහ ඊමේල් ලිපින පවා හැකර්වරුන් අතට පත්වෙලා තියෙනවා. විශේෂයෙන්ම Steam හරහා භාණ්ඩ මිලදී ගත් පාරිභෝගිකයන්ගේ දත්ත පවා මෙයට ඇතුළත් බවයි තහවුරු වෙන්නේ. Ceva සමාගම පවසන්නේ ඔවුන්ගේ ආරක්ෂක කණ්ඩායම් මේ වන විටත් පරීක්ෂණ ආරම්භ කර ඇති බවත්, බලපෑමට ලක්වූ ගබඩා පද්ධති යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරමින් සිටින බවත්ය.
මේ සිදුවීමත් සමඟ ලෝකයේ ප්රධාන පෙළේ සමාගම් රැසක් තම පාරිභෝගිකයන්ට අනතුරු අඟවා තිබෙන්නේ තමන්ගේ දත්ත සම්බන්ධයෙන් වඩාත් සැලකිලිමත් වන ලෙසයි. නෙදර්ලන්ත බලධාරීන් ද මේ පිළිබඳව පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර, සයිබර් අපරාධකරුවන් විසින් මෙම දත්ත යොදාගෙන ඉදිරියේදී තවත් වංචාවන් සිදුකිරීමේ අවදානමක් පවතින බවට විශේෂඥයන් අනතුරු අඟවනවා.

Discussion & Feedback