මීට මාස කිහිපයකට පෙර මීසල් රෝගය පාලනය කරමින් විශාල ප්‍රගතියක් ලබා සිටි බංග්ලාදේශය, මේ වන විට බරපතළ සෞඛ්‍ය අර්බුදයකට මුහුණ දීලා. මාර්තු මාසයේ සිට මේ දක්වා එරටින් මීසල් රෝගීන් එක් ලක්ෂ විසි දහසකට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා. රෝහල්වල ඉඩකඩ මදි නිසා රෝගී දරුවන් බිම පැදුරු එලාගෙන ප්‍රතිකාර ගන්නා අයුරු දකින්න ලැබෙන්නේ හරිම කනගාටුදායක විදියටයි. මේ වන විට රෝගය නිසා දරුවන් 750කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්වෙලා තිබුණත්, සැබෑ සංඛ්‍යාව මීට වඩා වැඩි විය හැකි බවයි යුනිසෙෆ් ආයතනය පවසන්නේ.
මේ හදිසි වසංගත තත්ත්වයට ප්‍රධාන හේතුව ලෙස එන්නත් ලබා ගැනීමේදී සිදුවූ ප්‍රමාදයන් සහ දේශපාලන අස්ථාවරත්වය බලපා ඇති බවයි වාර්තා වෙන්නේ. කොවිඩ් වසංගතය නිසා සාමාන්‍ය එන්නත්කරණ වැඩසටහන් මගහැරී යාම සහ ජනතාව ගැවසෙන ස්ථානවල තදබදයත් මේ රෝගය වේගයෙන් පැතිරීමට හේතු වෙලා. වෛද්‍යවරු පවසන්නේ මීසල් නිසා ඇතිවන නියුමෝනියාව සහ හෘද ආබාධ වැනි සංකූලතා දරුවන්ගේ ජීවිතවලට විශාල තර්ජනයක් වී ඇති බවයි. එන්නත් හිඟය පිළිබඳව රජයේ පාර්ශ්වයන් අතර මතභේද පවතින අතර, මේ වන විටත් රෝහල්වල පවතින තදබදය නිසා රෝගීන්ට නිසි ප්‍රතිකාර ලබා දීම දැඩි අභියෝගයක් වෙලා.
ලෝකයේ වෙනත් රටවලත් මීසල් රෝගීන් වාර්තා වීමේ ප්‍රවණතාවක් දකින්න ලැබෙනවා. එන්නත්කරණ ප්‍රතිශතය 95%කට වඩා ඉහළ මට්ටමක පවත්වා ගැනීම මේ රෝගය පාලනය කිරීමට ඇති එකම විසඳුම බවයි සෞඛ්‍ය විශේෂඥයන් අවධාරණය කරන්නේ. බංග්ලාදේශයේ මේ තත්ත්වය පාලනය කර ගැනීමට තව කොපමණ කාලයක් ගතවේවිද යන්න තවමත් අවිනිශ්චිතයි.

Discussion & Feedback