ජර්මනියේ කොබ්ලෙන්ස් නගරයේ වසර 32ක් තිස්සේ විසඳාගත නොහැකිව තිබූ අභිරහස් ඝාතනයක් පිළිබඳ තොරතුරු මේ වන විට අනාවරණය වී තිබෙනවා. 1994 වසරේදී ඇමරිකානු සංචාරක තරුණියක වූ 24 හැවිරිදි ඇමී ලෝපෙස්ව ඝාතනය කිරීමේ චෝදනාවට මේ වන විට 82 හැවිරිදි වියේ පසුවන හෑන්ස් එස්. නැමැත්තා වරද පිළිගෙන තිබෙනවා. ඇය යුරෝපයේ සංචාරයක නිරතව සිටියදී කොබ්ලෙන්ස්හි පිහිටි ඓතිහාසික බලකොටුවක් නැරඹීමට යමින් සිටියදී අතුරුදහන් වී තිබූ අතර, පැය කිහිපයකට පසු ඇගේ මළ සිරුර හමුවී තිබුණා. දීර්ඝ කාලයක් පුරා මෙම සිද්ධිය පොලිසියට විශාල ප්රහේලිකාවක් වී තිබුණත්, නවීන DNA තාක්ෂණය භාවිතයෙන් සිදුකළ පරීක්ෂණවලින් පසු සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි වුණා.
අධිකරණයේදී හෙළි වූ පරිදි, සැකකරු ඇයව බලකොටුව අසල හුදකලා ප්රදේශයකට රැගෙන ගොස් ලිංගික අතවර කර පිහියෙන් ඇන ඝාතනය කර තිබෙනවා. සිද්ධිය වන විට 49 හැවිරිදි වියේ පසු වූ සැකකරු, පසුගිය වසරේදී පොලිසිය විසින් සිදුකළ DNA පරීක්ෂණයකින් අනතුරුවයි හඳුනාගනු ලැබුවේ. තමා සිදුකළ අපරාධය පිළිබඳව දැඩි පසුතැවිල්ලකින් පසුවන බවත්, එය තමාගේ හිතට වදයක්ව පැවති බවත් ඔහුගේ නීතිඥයා පවසනවා. මේ වන විට මෙම නඩුව ජර්මනිය පුරා දැඩි කතාබහකට ලක්ව ඇති අතර, සැකකරුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් හිමිවීමේ ඉඩකඩ පවතිනවා. වසර ගණනාවකට පසු මෙම අභිරහස් ඝාතනයට යුක්තිය ඉටුවීම බොහෝ දෙනාගේ අවධානයට ලක්ව තිබෙනවා.

Discussion & Feedback