විදෙස් රටවල සැඟවී සිටින පාතාල කල්ලි සාමාජිකයන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 73 දෙනෙක්ව රතු නිවේදන මගින් ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කරමින් ඉන්නවා කියලා පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා මහනුවරදී මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළා. මේ පිරිසට අමතරව සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ බවට සැක කරන තවත් 100 දෙනෙක් ගැන විශේෂ විමර්ශන සිදුවෙමින් පවතින බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා. මේ අපරාධ මර්දන මෙහෙයුම්වලට ජාත්‍යන්තරයෙන් විශාල සහයෝගයක් ලැබෙන අතර, විදෙස් රටවල් සහ තානාපති කාර්යාල පවා අපේ මේ වැඩපිළිවෙළේ විනිවිදභාවය අගය කරනවා.
මේ මෙහෙයුම් නතර කරන්න කියලා කිසිම පාර්ශ්වයකින් බලපෑමක් හෝ තර්ජනයක් ඇවිත් නැහැ. ඒ වෙනුවට මේ වැඩපිළිවෙළ තවත් දැඩි කරන්න කියලා තමයි ඉල්ලීම් ලැබෙන්නේ. හැබැයි මේ අපරාධ ජාලයන්ට මුදල් ආයෝජනය කරපු සහ උදව් කරපු අය නම් දැන් ලොකු බියකින් ඉන්නේ. දේශපාලනඥයන් තමන් ගැන කියන දේවල්වලට තමන් බය නැති බවත්, තමන් සමාජයට අසාධාරණයක් කරලා නැති නිසා ඕනෑම තැනක ආරක්ෂාවක් නැතුව වුණත් යන්න පුළුවන් බවත් පොලිස්පතිවරයා අවධාරණය කළා. ඇත්තටම සමාජයට හානි කරපු සහ ජනතාව නොමඟ යවපු දේශපාලනඥයන්ට තමයි දැන් ජනතාව අතරට යන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ කියලා ඔහු වැඩිදුරටත් කිව්වා.

Discussion & Feedback