ඩුබායි සිට පැමිණි ශ්‍රී ලාංකික සහෝදරයන් දෙදෙනෙක් තමන්ගේ ගමන් මලු තුළ ඉතා සූක්ෂම ලෙස සඟවාගෙන ආ පරෙවියන් 64 දෙනෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට අරගෙන තියෙනවා. වයස අවුරුදු 38ක් සහ 42ක් වන වෑන්ඇල පදිංචිකරුවන් වන මොවුන්, පසුගිය ජූලි 25 වැනිදා එමිරේට්ස් ගුවන් සේවයට අයත් යානයකින් දිවයිනට පැමිණ තිබුණා. රේගු නිලධාරීන් විසින් සිදුකළ පරීක්ෂාවකදී, මොවුන් සතුව තිබූ ගමන් මලු අටක් තුළ ලෝහමය කූඩු 12ක දමා ඉතා අමානුෂික ලෙස සඟවා තිබූ මෙම පරෙවියන් සොයාගන්නට හැකි වුණා.
මෙම පරෙවියන් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 34කට අධික බවයි රේගුව සඳහන් කරන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකින් පසුව, අදාළ සහෝදරයන් දෙදෙනාට රුපියල් ලක්ෂ 5ක දඩ මුදලක් ගෙවන ලෙස රේගුව නියෝග කර තිබෙනවා. ඉන් එක් අයෙකුට රුපියල් ලක්ෂ 4ක දඩයක් සහ අනෙක් පුද්ගලයාට රුපියල් ලක්ෂයක දඩයක් වශයෙන් මෙම මුදල අය කරගෙන තියෙනවා. එපමණක් නොවෙයි, අත්අඩංගුවට ගත් පරෙවියන් නැවතත් ඉතාලිය වෙතම පිටුවහල් කිරීමටත් රේගු නිලධාරීන් පියවර ගෙන තිබෙනවා. මෙවැනි සතුන් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ඒම බරපතළ වරදක් බවත්, ඒ සම්බන්ධයෙන් දැඩි නීති ක්‍රියාත්මක වන බවත් බලධාරීන් සිහිපත් කරනවා.

Discussion & Feedback