ඉන්දියාවේ දිල්ලි නුවර සත්‍ය නිකේතන් ප්‍රදේශයේ පිහිටි මහල් හයකින් යුත් ගොඩනැගිල්ලක් හදිසියේම කඩා වැටීමෙන් පුද්ගලයින් හය දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. සිදුවීමෙන් තවත් දෙදෙනෙකු බරපතල තත්ත්වයේ පසුවන අතර, තවත් පිරිසක් සුන්බුන් අතර සිරවී සිටින බවටයි වාර්තා වෙන්නේ. මෙම ගොඩනැගිල්ල සිසුන් සඳහා නේවාසිකාගාරයක් ලෙස භාවිතා කර ඇති අතර, සිද්ධිය වන අවස්ථාවේදී එහි විශාල පිරිසක් සිටි බවට සාක්ෂිකරුවන් පවසනවා. ගොඩනැගිල්ලේ පහළ මාලයේ අලුත්වැඩියා කටයුතු සිදුකරමින් තිබියදී මෙම අනතුර සිදුව ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
අනතුර සිදු වූ වහාම දිල්ලි පොලිසිය, ගිනි නිවන හමුදාව සහ ආපදා කළමනාකරණ කණ්ඩායම් එක්ව දැවැන්ත සහන මෙහෙයුමක් ආරම්භ කළා. මේ වන විට පුද්ගලයින් එකොළොස් දෙනෙකු බේරා ගැනීමට හැකි වී ඇති අතර, සුන්බුන් අතර සිරවී සිටින අනෙක් අය සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙම සිදුවීම සම්බන්ධයෙන් සිය කණගාටුව පළ කර ඇති අතර, වින්දිතයින්ට අවශ්‍ය සියලුම සහන ලබා දෙන ලෙස බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මැජිස්ට්‍රේට් පරීක්ෂණයක් පවත්වන ලෙස දිල්ලි රජය නියෝග කර ඇති අතර, ගොඩනැගිල්ලේ හිමිකරුට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් බලධාරීන් පවසනවා. වසර 40-50ක් පැරණි මෙම ගොඩනැගිල්ලේ නීති විරෝධී ලෙස අලුත්වැඩියා කටයුතු සිදු කිරීම සහ දූෂිත ක්‍රියාකාරකම් මෙම අනතුරට හේතු වී ඇති බවට දේශපාලන නියෝජිතයින් චෝදනා කරනවා. කෙසේ වෙතත්, මේ වන විට අවට ගොඩනැගිලිවල සිටින පිරිස් ද ආරක්ෂිතව ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

Discussion & Feedback