මේ දිනවල අපේ රටේ අලි ඇතුන් සම්බන්ධයෙන් ඉතාමත් කනගාටුදායක තොරතුරක් කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා විසින් අනාවරණය කර තිබෙනවා. එතුමා පවසන විදිහට, මෙරට සිටින අලි ඇතුන්ගෙන් 30%ක් පමණ මේ වන විට බිහිරි වී සිටිනවා. මීට ප්‍රධානම හේතුවක් වෙලා තියෙන්නේ ගොවීන් විසින් අලි පලවා හැරීමට භාවිතා කරන ප්‍රමිතියෙන් තොර ‘අලි වෙඩි’ නිසා ඇතිවන අධික ශබ්දයයි. විශේෂයෙන්ම කුඩා අලි පැටවුන් පවා මෙම ශබ්දය නිසා දැඩි පීඩාවට පත්වන අතර, කාලයක් යද්දී ඔවුන්ගේ ශ්‍රවණ හැකියාව සම්පූර්ණයෙන්ම නැති වී යන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
වනජීවී නිලධාරීන් වෙත යතුරුපැදි බෙදා දීමේ උත්සවයකදී අදහස් දක්වමින් එතුමා වැඩිදුරටත් කියා සිටියේ, අලි ඇතුන් පමණක් නොව වඳුරන්, රිලවුන්, වල් ඌරන් සහ මොනරුන් නිසා ගොවීන්ගේ වගාවන්ට සිදුවන හානිය ඉතාම බරපතළ මට්ටමක පවතින බවයි. සමහර ප්‍රදේශවල අලි මිනිස් ගැටුමට වඩා වඳුරු උවදුර දරුණු වී තිබෙනවා. වන සතුන් මෙලෙස ගම්වැදීමට ප්‍රධාන හේතුව කැලෑවල ආහාර සහ ජලය හිඟ වීමයි. ඒ නිසා සතුන්ට කැලෑව තුළම අවශ්‍ය ආහාර සහ ජලය සපයා දීමෙන් පමණක් මෙම ගැටුම් අවම කරගන්න පුළුවන් බවයි අමාත්‍යවරයා අවධාරණය කරන්නේ. සතුන්ට වෙඩි තැබීම සහ ඔවුන්ගේ සිරුරුවල උණ්ඩ රැඳී තිබීම වැනි අමානුෂික ක්‍රියා නිසා සතුන් දැඩි වේදනාවකට ලක්වන බවත්, මේ තත්ත්වය කඩිනමින් පාලනය කළ යුතු බවත් එතුමා වැඩිදුරටත් පවසා සිටියා.

Discussion & Feedback