කල්පිටිය, පාලකුඩාව ප්‍රදේශයේදී ඊයේ (03) දින ඉතාමත් කනගාටුදායක පුවතක් වාර්තා වුණා. ඒ තියුණු ආයුධයකින් පහර දීම නිසා 26 හැවිරිදි ගැබිණි මවක් සහ ඇයගේ කුසෙහි සිටි දරුවා ජීවිතක්ෂයට පත්වීමේ සිදුවීමයි. සැකකරු විසින් සිදුකළ මෙම අමානුෂික ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ කාන්තාව වහාම කල්පිටිය රෝහලට ඇතුළත් කළත්, ඒ වන විටත් ඇය සහ දරුවා මියගොස් සිටි බවයි රෝහල් ආරංචි මාර්ග පවසන්නේ.
පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙන්නේ මෙම කාන්තාව තම සැමියාගෙන් වෙන්වී සැකකරු සමඟ ජීවත් වෙමින් සිට ඇති බවයි. ඔවුන් අතර පැවති දීර්ඝ කාලීන පවුල් ආරවුලක් මෙම ඝාතනයට හේතු වී ඇති බවට සැක පළ කරනවා. සිද්ධියෙන් පසු සැකකරු ප්‍රදේශයෙන් පලා යාමට උත්සාහ කළත්, කල්පිටිය පොලිසිය විසින් විනාඩි 45ක් වැනි කෙටි කාලයක් තුළදී ඔහුව අත්අඩංගුවට ගැනීමට සමත් වුණා. 36 හැවිරිදි වියේ පසුවන මෙම සැකකරු අයිස් මත්ද්‍රව්‍යවලට තදින්ම ඇබ්බැහි වූ අයෙක් බවත් පොලිසිය සඳහන් කරනවා.
මෙම සිදුවීම මුළු ප්‍රදේශයම දැඩි කම්පනයකට පත් කර තිබෙනවා. මේ වන විට කල්පිටිය පොලිසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් පවතින අතර, සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මෙවැනි අමානුෂික ක්‍රියා සමාජයෙන් තුරන් කිරීමට බලධාරීන්ගේ දැඩි අවධානය යොමු විය යුතු බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

Discussion & Feedback