ශ්‍රී ලංකාවේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව ඉහළ දැමීමට අදාළ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ලබන අගෝස්තු 18 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසනවා. මේ සමඟම අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පතත් එදිනම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. මෙම යෝජනාවට අනුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 65 සිට 67 දක්වාත්, අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 63 සිට 65 දක්වාත් ඉහළ දැමීමටයි සැලසුම් කරලා තියෙන්නේ.
කෙසේ වෙතත්, රජයේ මෙම තීරණයට විවිධ පාර්ශ්වවලින් දැඩි විරෝධයක් එල්ල වෙමින් පවතිනවා. මහා සංඝරත්නය, ශ්‍රී ලංකා නීතිඥ සංගමය, විපක්ෂයේ දේශපාලන පක්ෂ මෙන්ම ජාත්‍යන්තර සංවිධාන කිහිපයක්ම මෙම සංශෝධනයට එරෙහිව අදහස් පළ කර තිබෙනවා. පසුගිය අගෝස්තු 7 වැනිදා මෙම පනත් කෙටුම්පත ගැසට් මගින් ප්‍රකාශයට පත් කළත්, ඒ සම්බන්ධයෙන් පවතින විරෝධතා තවමත් සමනය වී නැහැ. නීතිඥ සංගමය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවූ අවස්ථාවේදීත් ඔවුන්ගේ විරෝධය නැවත වරක් අවධාරණය කර තිබුණා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව, මෙවැනි පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පසු එය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කිරීමට දින 14ක කාලයක් ලැබෙනවා. යම් පෙත්සමක් ඉදිරිපත් වුවහොත්, එය විභාග කර දින 3ත් 21ත් අතර කාලයකදී ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය පාර්ලිමේන්තුවට දැනුම් දිය යුතු වෙනවා. ඉදිරි දිනවලදී මෙම පනත සම්බන්ධයෙන් රට තුළ ඇතිවන කතාබහ තවත් උණුසුම් වනු ඇතැයි අපේක්ෂා කළ හැකියි.

Discussion & Feedback