දිවංගත හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිර්ගාමර් මහතාගේ 21 වැනි ගුණ සමරුව අද දින ඉතාමත් අභිමානවත් ලෙස පැවැත්වුණා. විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සහ ලක්ෂ්මන් කදිර්ගාමර් ජාත්‍යන්තර සබඳතා සහ උපායමාර්ගික අධ්‍යයන ආයතනය එක්ව සංවිධානය කළ මෙම පින්කම කොළඹ ශ්‍රී සම්බෝධි විහාරාධිපති පූජ්‍ය කන්දේ අමිත ගවේෂී හිමිපාණන් ඇතුළු මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.
මෙම අවස්ථාවේදී අනුශාසනාවක් පවත්වමින් අමිත ගවේෂී හිමිපාණන් කදිර්ගාමර් මහතා රට වෙනුවෙන් ඉටු කළ අගනා සේවය සහ ජාතික සමගිය වෙනුවෙන් එතුමා දැක්වූ කැපවීම සිහිපත් කළා. ඉන් අනතුරුව පිරිත් සජ්ඣායනා පවත්වා ආයතනයේ ඉදිරි කටයුතු සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරමින් ආශිර්වාද එක් කළා. මෙම අවස්ථාව සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා, දිවංගත අමාත්‍යවරයාගේ බිරිඳ වන සුගන්ධි කදිර්ගාමර් මහත්මිය සහ ආයතනයේ වැඩබලන විධායක අධ්යක්ෂ තුෂාර රොද්‍රිගෝ මහතා ඇතුළු පිරිසක් සහභාගී වුණා.
එමෙන්ම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ආයතනයේ කාර්ය මණ්ඩලය සහ පාලක මණ්ඩලයේ සාමාජිකයන් ද මෙම ගුණ සමරු උත්සවයට එක්ව සිටියා. රටේ විදේශ ප්‍රතිපත්තිය ශක්තිමත් කිරීමට සහ ජාත්‍යන්තරය තුළ ශ්‍රී ලංකාවේ නාමය බැබළවීමට කදිර්ගාමර් මහතා දැක්වූ දායකත්වය මෙහිදී බොහෝ දෙනාගේ කතාබහට ලක් වුණා. එතුමාගේ සේවය අනාගත පරපුරට ද ආදර්ශයක් බව මෙහිදී පැහැදිලි වුණා.

Discussion & Feedback