ලෝකයේ ජනප්රියම ෆැන්ටසි චිත්රපට මාලා ගැන කතා කරද්දී හැරී පොටර් හෝ ලෝඩ් ඔෆ් ද රින්ග්ස් තරම් නානියා (The Chronicles of Narnia) ගැන වැඩිපුර කතාබහක් ඇති වුණේ නැහැ. හැබැයි දැන් ඒ තත්ත්වය වෙනස් වෙන්නයි යන්නේ. ‘බාර්බි’ චිත්රපටයේ දැවැන්ත සාර්ථකත්වයෙන් පසුව, ප්රවීණ අධ්යක්ෂිකා ග්රෙටා ගර්විග් නානියා කතා මාලාව නැවතත් සිනමාවට රැගෙන එන්න සූදානම් වෙනවා. නෙට්ෆ්ලික්ස් වෙනුවෙන් ඇය අධ්යක්ෂණය කරන මෙම නවතම නිර්මාණය ‘The Magician’s Nephew’ ලෙස නම් කර තිබෙන අතර, එය 2027 පෙබරවාරි 12 වැනිදා සිනමාහල්වලදී ප්රදර්ශනය ආරම්භ කිරීමට නියමිතයි.
මෙම චිත්රපටය නෙට්ෆ්ලික්ස් ඉතිහාසයේ සිනමාහල්වලදී පුළුල් ලෙස ප්රදර්ශනය කෙරෙන පළමු නිර්මාණය වීම විශේෂත්වයක්. මීට පෙර ඩිස්නි ආයතනය නානියා චිත්රපට කිහිපයක් නිර්මාණය කළත්, ඒවායේ සාර්ථකත්වය ක්රමයෙන් අඩුවීම නිසා කතා මාලාව අතරමග නතර වුණා. නමුත් ග්රෙටා ගර්විග්ගේ මෙම නවතම ප්රයත්නය හරහා නානියා ලෝකයේ ආරම්භය සහ අස්ලාන් සිංහයාගේ මැවීම් කතාව ඉතාම ආකර්ෂණීය ලෙස දැකගන්න පුළුවන් වේවි. එමා මැකී විසින් සුදු මායාකාරියගේ චරිතයට පණ පොවන මෙම චිත්රපටය, ෆැන්ටසි ලෝලීන්ට නැවතත් නානියා දේශයේ මැජික් එක අත්විඳින්න ලැබෙන හොඳම අවස්ථාව වේවි.
සිනමාහල්වලින් පසුව අප්රේල් මාසයේදී නෙට්ෆ්ලික්ස් හරහා ලොව පුරා ප්රේක්ෂකයන්ට මෙය නැරඹීමේ අවස්ථාව හිමි වෙනවා. වසර ගණනාවකට පසු නැවතත් කරළියට එන නානියා, මෙවර ලෝක සිනමාවේ නව පෙරළියක් කරාවිද යන්න ගැන බොහෝ දෙනෙක් බලාපොරොත්තු තබාගෙන ඉන්නවා.

Discussion & Feedback