ස්පාඤ්ඤය ලෝක කුසලානය දිනාගැනීම සැමරීම සඳහා එක්රොක් වුණු පිරිසක් අතරේ සිදුවූ අවාසනාවන්ත අනතුරකින් 13 හැවිරිදි දරුවෙක් ජීවිතක්ෂයට පත්වෙලා තියෙනවා. මේ සිදුවීම වාර්තා වෙන්නේ ස්පාඤ්ඤයේ සියුඩාඩ් රොඩ්රිගෝ නගරයෙන්. ආර්ජන්ටිනාව පරාජය කරමින් ස්පාඤ්ඤය ලබාගත් ජයග්‍රහණය සැමරීමට විශාල පිරිසක් නගරයේ තිබෙන ආර්බෝල් ගෝර්ඩෝ දිය උල්පත අසලට එකතු වෙලා හිටියා. ඒ අතරතුර දිය උල්පතේ ඉහළ කොටස මතට පිරිසක් නැගීම නිසා එය කඩා වැටීමෙන් තමයි මේ අනතුර සිදුවෙලා තියෙන්නේ.
මේ අනතුරෙන් බරපතළ තුවාල ලැබූ 13 හැවිරිදි දරුවා වහාම රෝහල්ගත කළත්, ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගොස් තිබෙනවා. මේ සිදුවීමෙන් තවත් දෙදෙනෙක් තුවාල ලබා ඇති අතර, ඔවුන්ට මේ වන විට ප්‍රතිකාර ලබා දෙනවා. සිද්ධිය සැලවීමත් සමඟම පොලිසිය, ගිනි නිවන හමුදාව සහ වෛද්‍ය කණ්ඩායම් වහාම එම ස්ථානයට පැමිණ සහන කටයුතු සිදු කළා. මේ සිදුවීම සම්බන්ධයෙන් මේ වන විටත් බලධාරීන් පරීක්ෂණ පවත්වමින් ඉන්නවා.
සියුඩාඩ් රොඩ්රිගෝ නගර සභාව මේ සිදුවීම සම්බන්ධයෙන් සිය බලවත් ශෝකය ප්‍රකාශ කර තිබෙනවා. සතුටු විය යුතු මොහොතක් මෙවැනි ඛේදවාචකයකින් අවසන් වීම මුළු ප්‍රජාවටම ලොකු කම්පනයක් බවයි ඔවුන් පවසන්නේ. මේ අනතුර නිසා නගර සභාව විසින් දින තුනක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර ඇති අතර, නගරයේ සියලුම රාජ්‍ය ආයතනවල කොඩි අඩකුඹු කර තැබීමටත් පියවර ගෙන තිබෙනවා.

Discussion & Feedback