පැරාමවුන්ට් (Paramount) සහ වෝනර් බ්‍රදර්ස් (Warner Bros. Discovery) සමාගම් දෙක එකතු වී සිදු කිරීමට යන ඩොලර් බිලියන 110ක දැවැන්ත ගනුදෙනුව නතර කිරීමට ඇමරිකාවේ ප්‍රාන්ත 12ක නීතිපතිවරුන් එකතු වී නඩු පවරා තිබෙනවා. කැලිෆෝනියා ප්‍රාන්තයේ නීතිපති රොබ් බොන්ටාගේ ප්‍රධානත්වයෙන් මෙම පියවර ගෙන ඇත්තේ, මෙම ඒකාබද්ධ වීම නිසා චිත්‍රපට කර්මාන්තයේ සහ කේබල් රූපවාහිනී ක්ෂේත්රයේ තරඟකාරීත්වය බරපතල ලෙස අඩු වී ඒකාධිකාරයක් නිර්මාණය විය හැකි බව පවසමින්. ඔවුන් පෙන්වා දෙන්නේ මෙම ගනුදෙනුව මගින් ඇමරිකානු චිත්‍රපට බෙදාහැරීමේ වෙළඳපොලෙන් 27%ක් සහ ප්‍රධාන පෙළේ චිත්‍රපට බෙදාහැරීමේ වෙළඳපොලෙන් 30%ක් පමණ මෙම සමාගම් දෙකේ පාලනයට නතු වන බවයි.
මෙම ඒකාබද්ධ වීම හරහා CBS, MTV, CNN සහ HBO වැනි ප්‍රධාන නාලිකා මෙන්ම Paramount+ සහ HBO Max වැනි ප්‍රවාහන සේවා එකම වහලක් යටට පැමිණෙනවා. මෙය සාමාන්‍ය ජනතාවට සහ සිනමාහල් හිමියන්ට අහිතකර ලෙස බලපාන බවත්, සිනමා කර්මාන්තයේ විවිධත්වය නැති වී මිල ගණන් ඉහළ යා හැකි බවත් නීතිපතිවරුන් අනතුරු අඟවනවා. කෙසේ වෙතත්, පැරාමවුන්ට් සමාගම පවසන්නේ මෙම ඒකාබද්ධ වීම හරහා වසරකට චිත්‍රපට 30ක් පමණ නිකුත් කිරීමට හැකි වනු ඇති බවයි. දැනටමත් ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව මෙම ගනුදෙනුවට අනුමැතිය ලබා දී තිබුණත්, ප්‍රාන්ත 12ක නීතිපතිවරුන්ගේ මෙම මැදිහත්වීම නිසා ගනුදෙනුවේ අනාගතය අවිනිශ්චිත තත්ත්වයකට පත්ව තිබෙනවා.

Discussion & Feedback