2026 වසර තුළදී ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් දස දහසකට ඊශ්‍රායලයේ රැකියා අවස්ථා ලබාදීමට රජය මේ වන විටත් කටයුතු සූදානම් කර තිබෙනවා. විදේශ කටයුතු සහ විදේශ රැකියා අමාත්‍ය විජිත හේරත් මහතා මේ බව සඳහන් කළේ ඊශ්‍රායලයේ ඉදිකිරීම් සහ යටිතල පහසුකම් ක්ෂේත්රයේ රැකියා සඳහා පිටත්ව යන ශ්‍රමිකයන් 164 දෙනෙකුට ගුවන් ගමන් බලපත්‍ර ප්රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින්. ඉතා විනිවිදභාවයකින් සහ ක්‍රමවත් වැඩපිළිවෙළක් ඔස්සේ මෙම බඳවාගැනීම් සිදුකරන බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළා.
මේ වසරේ මේ වන විටත් ශ්‍රී ලාංකිකයන් 2,500ක් ඊශ්‍රායලය බලා පිටත්ව ගොස් තිබෙන අතර, තවත් 6,500 දෙනෙකුට රැකියා අවස්ථා සූදානම් කර තිබෙනවා. මීට අමතරව අලුතින් හඳුන්වා දෙන ක්ෂේත්රයක් හරහා තවත් රැකියා 1,000ක් ලබාදීමට නියමිතයි. මේ සියල්ල හරහා 2026 වසරේදී ඉලක්ක කර ඇති දස දහසේ සීමාව සපුරා ගැනීමට රජය බලාපොරොත්තු වෙනවා.
විදේශ රැකියා අපේක්ෂාවෙන් සිටින අයට ශ්‍රී ලංකා විදේශ සේවක නියුක්ති කාර්යාංශයේ නිල ලියාපදිංචිය හරහා ඉතා අඩු වියදමකින් සහ විශ්වාසවන්තව විදේශ රැකියා අවස්ථා ලබාගැනීමේ හැකියාව දැන් උදාවී තිබෙනවා. ඒ නිසා අතරමැදියන්ට හසු නොවී නිවැරදි ක්‍රමවේදය ඔස්සේ ලියාපදිංචි වී විදේශ රැකියා සිහිනය සැබෑ කරගන්නා ලෙසයි අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

Discussion & Feedback