යාපනයේ කුරිකට්ටුවාන් ජැටියේ සිට ඩෙල්ෆ් දූපත බලා ගමන් කරමින් තිබූ බෝට්ටුවක් නයිනතිව් හෙවත් නාගදීපය අසල මුහුදේදී අනතුරට ලක්වෙලා තියෙනවා. ඉරිදා (16) දින සිදුවූ මෙම අනතුර සිදුවන අවස්ථාවේදී බෝට්ටුවේ පිරිමි පුද්ගලයින් අට දෙනෙක් සහ කාන්තාවන් දෙදෙනෙක් ගමන් කරමින් සිට තිබෙනවා. වාසනාවකට මෙන්, වහාම ක්‍රියාත්මක වූ නාවික හමුදාව සහ ප්‍රදේශවාසීන්ගේ සහයෝගය මත එම මගීන් දස දෙනාම බේරා ගැනීමට හැකි වුණා. බේරාගත් පිරිස වහාම නයිනතිව් රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබා දීමට පියවර ගෙන තිබෙනවා.
මේ සිදුවීම ගැන දැනගත්ත ගමන්ම ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර මහතා නාවික හමුදාව සම්බන්ධ කරගෙන කඩිනම් ගලවා ගැනීමේ මෙහෙයුමක් දියත් කරන්න උපදෙස් ලබා දුන්නා. මේ අනතුරට හේතුව මොකක්ද කියලා සොයා බැලීමටත්, මගීන්ගේ ආරක්ෂාව සඳහා අවශ්‍ය ජීවිතාරක්ෂක කබා ලබා දී තිබුණාද සහ ආරක්ෂිත ක්‍රමවේදයන් නිසි ලෙස අනුගමනය කර තිබුණාද යන්න ගැනත් පූර්ණ වාර්තාවක් ලබා දෙන ලෙස අමාත්‍යවරයා නිලධාරීන්ට දැනුම් දී තිබෙනවා.
අනාගතයේදී මෙවැනි අනතුරු සිදු නොවීමට වග බලා ගන්නා ලෙසත්, මුහුදු ගමන්වලදී මගී ආරක්ෂාව පිළිබඳ නීති රීති දැඩිව ක්‍රියාත්මක කරන ලෙසත් අමාත්‍යවරයා අදාළ අංශවලට උපදෙස් ලබා දී තියෙනවා. මුහුදු ගමන්වලදී මගීන්ගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් මෙවැනි පියවර ගැනීම ඉතාමත් වැදගත් බවයි බලධාරීන් පෙන්වා දෙන්නේ.

Discussion & Feedback