මේ දවස්වල අන්තර්ජාලය පාවිච්චි කරන වයස අවුරුදු 12ත් 17ත් අතර දරුවන්ගෙන් පහෙන් එකක්ම වගේ විවිධ ආකාරයේ ලිංගික හිංසනයන්ට ලක්වෙන බව යුනිසෙෆ් ආයතනය කරපු අලුත්ම සමීක්ෂණයකින් හෙළිවෙලා තියෙනවා. රටවල් 21ක දරුවන් 21,000ක් යොදාගෙන කරපු මේ පර්යේෂණයට අනුව, මිලියන 15කට වැඩි දරුවන් පිරිසක් තමන්ට අකමැති ලිංගික අන්තර්ගතයන්ට මුහුණ දීලා තියෙනවා. ඒ වගේම මිලියන 9ක් දරුවන්ව ලිංගික සංවාදවලට හෝ ඡායාරූප හුවමාරු කරගන්න බලපෑම් කරලා තියෙනවා. මේ සිදුවීම්වලින් වැඩි ප්‍රමාණයක් සිද්ධ වෙන්නේ ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම්, ටික්ටොක් සහ වට්ස්ඇප් වගේ සමාජ මාධ්‍ය හරහායි. වඩාත් කනගාටුදායක කාරණය තමයි, මේ වගේ හිංසනයන්ට ලක්වෙන දරුවන්ගෙන් බහුතරයක් තමන් දන්නා හඳුනන අයගෙන්ම ඒ අත්දැකීම්වලට මුහුණ දීමයි.
මේ වගේ දේවල්වලට ලක්වෙන දරුවන් අතර මානසික පීඩනය, කාංසාව සහ සියදිවි නසා ගැනීමේ සිතුවිලි ඇතිවීමේ ප්‍රවණතාව සාමාන්‍ය දරුවන්ට වඩා හතර ගුණයකින් වැඩියි. හැබැයි ලොකුම ප්රශ්නය වෙලා තියෙන්නේ, මේ සිදුවීම්වලින් 40%ක්ම දරුවන් කාටවත් කියන්නේ නැති එකයි. උදව් ඉල්ලන්න ඕන කොහෙන්ද කියලා නොදන්නා නිසා සහ බිය නිසා 1%කටත් වඩා අඩු පිරිසක් තමයි මේ ගැන බලධාරීන්ට පැමිණිලි කරන්නේ. ඒ නිසා දරුවන්ව අන්තර්ජාලයේදී ආරක්ෂා කරගන්න තාක්ෂණික සමාගම් සහ රජයන් මීට වඩා වගකීමෙන් වැඩ කරන්න ඕන කියලා යුනිසෙෆ් ආයතනය අවධාරණය කරනවා. දෙමව්පියන් විදිහට අපිත් අපේ දරුවන් අන්තර්ජාලයේ සැරිසරන විදිහ ගැන මීට වඩා අවධානයෙන් ඉන්න එක අත්‍යවශ්‍යයි.

Discussion & Feedback