ලොවම කම්පාවට පත් කළ හය හැවිරිදි රූ රැජිනක වූ ජොන්බෙනට් රැම්සේගේ අභිරහස් ඝාතනය පාදක කරගෙන නිර්මාණය කළ අලුත්ම සත්ය අපරාධ කතාමාලාව (True-crime series) නෙට්ෆ්ලික්ස් ඔස්සේ ලබන දෙසැම්බර් 10 වැනිදා සිට ලොව පුරා විකාශය වීමට නියමිතයි. 1996 වසරේ දෙසැම්බර් 25 වැනිදා සිදුවූ මෙම ඛේදවාචකයට වසර 30ක් පිරීම නිමිත්තෙන් මෙම කතාමාලාව එළිදැක්වීමට නෙට්ෆ්ලික්ස් ආයතනය කටයුතු කර තිබෙනවා. මෙහිදී ජොන්බෙනට්ගේ දෙමාපියන් වන පැට්සි සහ ජෝන් බෙනට් රැම්සේගේ චරිතවලට ප්රවීණ රංගන ශිල්පීන් වන මෙලිසා මැකාති සහ ක්ලයිව් ඕවන් පණ පොවන අතර, ඔවුන්ගේ පළමු පෙනී සිටීම සහිත ඡායාරූපයක් ද මේ වන විට අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා.
මෙම කතාමාලාව අධ්යක්ෂණය කරන්නේ ඈන් සෙවිට්ස්කි විසින් වන අතර, මෙහිදී රැම්සේ පවුලේ සාමාජිකයන්, විමර්ශන නිලධාරීන් සහ මාධ්ය ඇතුළු විවිධ පාර්ශ්වවල දෘෂ්ටිකෝණයන් ඔස්සේ මෙම අභිරහස් ඝාතනය දෙස නැවතත් විමසා බලනවා. මීට පෙර පැරාමවුන්ට් ප්ලස් (Paramount+) ආයතනය විසින් අත්හැර දැමූ මෙම ව්යාපෘතිය පසුව 101 ස්ටූඩියෝස් හරහා නෙට්ෆ්ලික්ස් වෙත ලබා ගැනීමට කටයුතු කෙරුණා. එමිලි මිචෙල් ජොන්බෙනට්ගේ චරිතයට පණ පොවන අතර, ගාර්ට් හෙඩ්ලන්ඩ් සහ ඇලිසන් පිල් ඇතුළු තවත් ප්රවීණ නළු නිළියන් රැසක් මෙහි රංගනයෙන් දායක වෙනවා. දශක ගණනාවක් තිස්සේ විසඳා ගැනීමට නොහැකි වූ මෙම අභිරහස් ඝාතනය ගැන අලුත් කෝණයකින් බලාගන්නට ප්රේක්ෂකයන්ට මේ දෙසැම්බරයේ අවස්ථාව ලැබෙනවා.

Discussion & Feedback