අපේ ක්ෂීරපථ මන්දාකිණිය අතීතයේදී තවත් කුඩා මන්දාකිණි ගිල දමමින් තම වර්ධනය සිදුකරගත් බව විද්යාඥයින් මීට පෙරත් පවසා තිබුණා. නමුත් දැන් අලුත්ම පර්යේෂණයකින් හෙළි වී තිබෙන්නේ මීට වසර බිලියන 12කට පමණ පෙර අපේ මන්දාකිණිය සිදුකළ ප්රථම මන්දාකිණි භක්ෂණය පිළිබඳ සාක්ෂි ක්ෂීරපථයේ හදවතේ තවමත් ඉතිරිව ඇති බවයි. ARMA ව්යාපෘතිය යටතේ හබල් අභ්යවකාශ දුරේක්ෂයේ දත්ත භාවිතා කරමින් සිදුකළ මෙම අධ්යයනයෙන්, මීට පෙර දැන සිටි පැරණිතම සිදුවීමට වඩා වසර බිලියන 1.8කට පෙර සිදු වූ මෙම ගැටුම හඳුනා ගැනීමට විද්යාඥයින්ට හැකි වුණා.
මෙම සොයාගැනීම සඳහා පර්යේෂකයන් ක්ෂීරපථයේ අභ්යන්තරයේ ඇති පැරණි තරු පොකුරු හෙවත් ‘ගෝලාකාර පොකුරු’ (globular clusters) උපයෝගී කරගෙන තිබෙනවා. ඔවුන් මෙම තරු පොකුරු වල වයස සහ ලෝහමය සංයුතිය ඉතා නිවැරදිව විශ්ලේෂණය කළා. එහිදී ක්ෂීරපථයට අයත් නොවන සහ මීට පෙර හඳුනා නොගත් තෙවන කණ්ඩායමකට අයත් තරු පොකුරු සමූහයක් හමුවී තිබෙනවා. මේ අනුව, ක්ෂීරපථය විසින් ගිල දමනු ලැබූ එම අවාසනාවන්ත මන්දාකිණිය සූර්යයා මෙන් මිලියන 500ක පමණ ස්කන්ධයකින් යුක්ත වූ බවයි විද්යාඥයින් පවසන්නේ.
ඉතාලියේ බොලොග්නා විශ්වවිද්යාලයේ චියාරා සර්බිනාටි පවසන පරිදි, මෙම සොයාගැනීම මගින් අපේ මන්දාකිණියේ ළදරු අවධියේ සිදුවූ දේ පිළිබඳව වැදගත් තොරතුරු රැසක් අනාවරණය වෙනවා. මිනිසා නිතරම අසන “අපි කොහෙන්ද ආවේ?” කියන ප්රශ්නයට පිළිතුරක් සෙවීමේ ගමනේදී, ක්ෂීරපථයේ පරිණාමය තේරුම් ගැනීමට මෙය ඉතා වැදගත් පියවරක් බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Discussion & Feedback