පලස්තීනය වෙනුවෙන් පෙනී සිටීම නිසා තමන්ට තවමත් හොලිවුඩයේ ප්රධාන චිත්රපට අවස්ථා අහිමි වෙමින් පවතින බව ඔස්කාර් සම්මානලාභී ප්රවීණ නිළි සුසාන් සරන්ඩන් පවසනවා. වැනීසිය චිත්රපට උළෙලේදී මාධ්ය හමුවකට එක්වෙමින් ඇය සඳහන් කළේ, තමන්ව චිත්රපටවලට සම්බන්ධ කර නොගන්නා ලෙස ඇතැම් නියෝජිත ආයතන බලපෑම් කරන බවයි. විශේෂයෙන්ම ප්රධාන පෙළේ චිත්රපට නිෂ්පාදන ආයතනවලින් තමන්ට මෙවැනි අසාධාරණකම් සිදුවන බවත්, එය තමන්ට පමණක් නොව තවත් බොහෝ කලාකරුවන්ට සිදුවන දෙයක් බවත් ඇය වැඩිදුරටත් කියා සිටියා.
2023 වසරේදී පලස්තීනයට සහය දක්වමින් පැවති උද්ඝෝෂණවලට එක්වීමෙන් පසු ඇයව ඇයගේ නියෝජිත ආයතනයෙන් පවා ඉවත් කිරීමට කටයුතු කළා. කෙසේ වෙතත්, තමන් ගත් තීරණය ගැන පසුතැවිලි නොවන බවත්, ලෝකයේ සාමාන්ය ජනතාව තමන්ව පිළිගන්නා බවත් ඇය අවධාරණය කරනවා. හොලිවුඩය තුළ තවමත් සියොන්වාදී මතධාරීන්ගේ බලපෑම පවතින බවත්, ඔවුන් තමන් කෙරෙහි තවමත් දැඩි ආකල්පයකින් පසුවන බවත් ඇය පවසනවා. කෙසේ වෙතත්, ඇය රංගනයෙන් දායක වන නවතම චිත්රපටයේ අධ්යක්ෂවරයා එවැනි කිසිදු අනතුරු ඇඟවීමකට කන් නොදී තමන්ව තෝරා ගැනීම ගැන ඇය සිය ස්තූතිය පුද කළා.
ඇමරිකාව සහ ඊශ්රායලය අතර පවතින දේශපාලනික සහ හමුදාමය සබඳතා පිළිබඳව මේ වන විට ජනතාව තුළ විශාල දැනුවත්භාවයක් ඇති වී තිබෙන බවත්, ඒ නිසාම පලස්තීනය සම්බන්ධයෙන් පවතින මතවාදය වෙනස් වෙමින් පවතින බවත් සරන්ඩන් විශ්වාස කරනවා. කෙසේ වෙතත්, හොලිවුඩයේ පවතින මෙම මතභේදාත්මක තත්ත්වය හේතුවෙන් තමන් වැනි කලාකරුවන්ට සිය වෘත්තීය ජීවිතයේදී දිගින් දිගටම අභියෝගවලට මුහුණ දීමට සිදුව තිබෙනවා.

Discussion & Feedback