ලෝකයේ ප්රමුඛතම අභ්යවකාශ සමාගමක් වන SpaceX විසින් තවත් සුවිශේෂී මෙහෙයුමක් සාර්ථකව අවසන් කර තිබෙනවා. ඒ, AST SpaceMobile සමාගමට අයත් දැවැන්ත ‘බ්ලූබර්ඩ්’ (BlueBird) වර්ගයේ චන්ද්රිකා තුනක් ෆ්ලොරිඩා හි කේප් කැනවරල් අභ්යවකාශ මධ්යස්ථානයේ සිට ෆැල්කන් 9 රොකට්ටුවක් මගින් අභ්යවකාශයට යැවීමයි. මෙම චන්ද්රිකා මගින් අනාගතයේදී සාමාන්ය ස්මාර්ට්ෆෝන් වෙත කෙලින්ම අන්තර්ජාල සේවාවන් ලබාදීමට නියමිත අතර, මෙය ලෝක සන්නිවේදන ක්ෂේත්රයේ විශාල පෙරළියක් වනු ඇති බවයි විද්යාඥයින් පවසන්නේ.
මෙම නවතම චන්ද්රිකා දියත් කිරීමත් සමඟ මේ වන විට කක්ෂගත කර ඇති බ්ලූබර්ඩ් චන්ද්රිකා සංඛ්යාව 13ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙම චන්ද්රිකා මගින් පෙර පැවති තාක්ෂණයට වඩා දෙගුණයක වේගයකින් අන්තර්ජාල දත්ත හුවමාරු කර ගැනීමේ හැකියාව පවතිනවා. මේ වසර අවසානය වන විට බීටා සේවාවන් ආරම්භ කිරීමට සමාගම සැලසුම් කර ඇති අතර, එමගින් දුර බැහැර ප්රදේශවල සිටින ජනතාවට පවා ඉතා පහසුවෙන් අධිවේගී අන්තර්ජාල පහසුකම් ලබාගන්න පුළුවන් වෙනවා.
මෙම මෙහෙයුමේදී භාවිතා කළ ෆැල්කන් 9 රොකට්ටුවේ පළමු අදියර දියත් කිරීමෙන් මිනිත්තු 8.5කට පසු සාර්ථකව නැවත පෘථිවියට ගොඩබස්වනු ලැබුවා. මෙය එම රොකට්ටුව සිදුකළ 30 වැනි සාර්ථක ගොඩබෑම වීම ද විශේෂත්වයක්. අභ්යවකාශ තාක්ෂණයේ දියුණුවත් සමඟ ඉදිරියේදී ලෝකයේ ඕනෑම තැනක සිට අන්තර්ජාලයට සම්බන්ධ වීමේ සිහිනය සැබෑවක් කර ගැනීමට මෙම ව්යාපෘතිය ඉමහත් පිටුවහලක් වනු ඇති බවයි වාර්තා වන්නේ.

Discussion & Feedback