පෘථිවියට කිලෝමීටර් 35,786ක් ඉහළින් පිහිටි භූ-ස්ථාවර කක්ෂයේ (GEO) සිදුවන දේවල් ගැන විමසිල්ලෙන් ඉන්න අලුත්ම ‘පර්සෙප්ටර්’ (Perceptor) නමින් හැඳින්වෙන චන්ද්රිකා පෙළක් හඳුන්වා දීමට ඇස්ට්රානිස් (Astranis) සමාගම පියවර අරගෙන තියෙනවා. මේ කක්ෂය කියන්නේ සන්නිවේදන, කාලගුණ සහ ඔත්තු බැලීමේ චන්ද්රිකා බහුලවම ගැවසෙන තැනක්. ඒ නිසාම මේ ප්රදේශය අභ්යවකාශයේ ඔත්තු බැලීම් සිදුවන ප්රධානම කලාපයක් බවට පත්වෙලා තියෙනවා. ඇස්ට්රානිස් සමාගමේ ප්රධාන විධායක නිලධාරී ජෝන් ගෙඩ්මාර්ක් පවසන විදිහට, දැනට අභ්යවකාශයේ තියෙන ආරක්ෂක හිඩැස් පිරවීම සහ විවිධ තර්ජන හඳුනා ගැනීම මේ ව්යාපෘතියේ ප්රධාන අරමුණයි.
මේ පර්සෙප්ටර් චන්ද්රිකා විශේෂ සංවේදකවලින් සමන්විත නිසා වෙනත් චන්ද්රිකා ගැන ඉතා සමීපව නිරීක්ෂණය කරන්න පුළුවන්. විශේෂයෙන්ම, මිත්ර පාක්ෂික චන්ද්රිකාවල ඇතිවන දෝෂ හඳුනා ගැනීමටත්, සැක සහිත චන්ද්රිකා ක්රියාකාරකම් ගැන සොයා බැලීමටත් මේවා උදව් වෙනවා. මේ චන්ද්රිකා ඉතා හොඳින් ගමන් කිරීමට හැකි ලෙස නිර්මාණය කරලා තියෙන නිසා, මෙහෙයුම් කාලය තුළදී කක්ෂයේ ඕනෑම තැනකට ගිහින් නිරීක්ෂණ කටයුතු කරන්න මේවාට හැකියාව තියෙනවා. මීට පෙර රුසියානු සහ චීන චන්ද්රිකා ඇමරිකානු චන්ද්රිකා අසලින් ගමන් කරමින් සිදුකළ සැක සහිත ක්රියාකාරකම් නිසා මෙවැනි නිරීක්ෂණ පද්ධතියක අවශ්යතාවය දැඩිව දැනී තිබුණා. ඉදිරියේදී මේ තාක්ෂණය මගින් අභ්යවකාශයේ ආරක්ෂාව තහවුරු කරගන්න පුළුවන් වෙයි කියලා තමයි බලාපොරොත්තු වෙන්නේ.

Discussion & Feedback