අපේ සඳ මතුපිට දූවිලි අතර පිටසක්වල ජීවීන්ගේ අතිශය කුඩා තාක්ෂණික උපකරණ හෝ කොටස් සැඟවී තිබෙන්නට පුළුවන් කියලා ඔබ කවදාහරි හිතලා තියෙනවද? මේ ගැන අලුත්ම පර්යේෂණයක් SETI ආයතනය විසින් සිදුකරනවා. ඔවුන් කියන විදියට, වසර බිලියන ගණනාවක් තිස්සේ අභ්‍යවකාශයේ තියෙන දූවිලි සඳ මත තැන්පත් වෙලා තියෙනවා. ඒ අතරේ අතීතයේ ජීවත් වුණු දියුණු පිටසක්වල ශිෂ්ටාචාරවලට අයත් ඉතා කුඩා තාක්ෂණික අංශු තිබෙන්නට ඉඩ තියෙන බවයි විද්‍යාඥ ලුවිස් පිනෝ ප්රමුඛ කණ්ඩායම පෙන්වා දෙන්නේ. මේවා හඳුන්වන්නේ ‘ක්ෂුද්‍ර තාක්ෂණික සලකුණු’ (microscopic technosignatures) විදියටයි.
පෘථිවිය වගේ නෙවෙයි, සඳ මත වායුගෝලයක් හෝ ගලා යන ජලය නැති නිසා එහි භූ විද්‍යාත්මක වෙනස්කම් සිද්ධ වෙන්නේ ඉතාම සෙමින්. ඒ නිසා වසර බිලියන ගණනාවක අභ්‍යවකාශ ඉතිහාසය සඳ මතුපිට දූවිලිවල තැන්පත් වෙලා තියෙනවා. නාසා ආයතනයේ ආටෙමිස් මෙහෙයුම සහ චීනයේ චැං-ඊ වැනි අභ්‍යවකාශ වැඩසටහන් හරහා සඳෙන් ගෙන එන පස් සාම්පල පරීක්ෂා කිරීමෙන් මේ ගැන සත්‍ය තොරතුරු දැනගන්න පුළුවන් වෙයි කියලා ඔවුන් බලාපොරොත්තු වෙනවා. දැනට මේ පර්යේෂණයෙන් පිටසක්වල තාක්ෂණයක් හමුවෙලා නැතත්, අනාගතයේදී කෘත්‍රිම බුද්ධිය සහ අති නවීන අන්වීක්ෂ භාවිතයෙන් මේ දූවිලි අංශු පරීක්ෂා කිරීමෙන් විශ්වයේ සැඟවුණු රහස් රැසක් හෙළි කරගන්න පුළුවන් වේවි.
මේ පර්යේෂණය තවමත් සමාලෝචනය වෙමින් පවතින අතර, එයින් අදහස් කරන්නේ පිටසක්වල ජීවීන් ගැන අපිට තිබෙන සාම්ප්‍රදායික සෙවීම්වලට වඩා වෙනස්, නව මානයක් විවෘත වීමයි. සමහරවිට අපේ සඳ කියන්නේ විශ්වයේ අතීතය සහ වෙනත් ශිෂ්ටාචාර ගැන තොරතුරු ගබඩා කරලා තියෙන දැවැන්ත පුස්තකාලයක් වෙන්නත් පුළුවන්.

Discussion & Feedback