ලොව පුරා අතිශය ජනප්රිය වූ ‘ජෝකර්’ (Joker) සහ ‘ලෝන්ග්ලෙග්ස්’ (Longlegs) වැනි චිත්රපට නිෂ්පාදනය කළ ප්රකට හොලිවුඩ් නිෂ්පාදක ජේසන් ක්ලෝත් මේ වන විට බරපතළ නීතිමය ගැටලුවකට මැදිවෙලා තියෙනවා. ඔහු ඇමරිකානු ඩොලර් මිලියන 100කට අධික මුදලක් වංචා කිරීමේ ‘පොන්සි’ (Ponzi) යෝජනා ක්රමයකට සම්බන්ධ බවට චෝදනා එල්ල වෙලා තියෙනවා. වයස අවුරුදු 60ක් වන ඔහු, කැනඩාව පදනම් කරගෙන ක්රියාත්මක වූ ‘Creative Wealth Media Finance Corp’ ආයතනය හරහා ආයෝජකයින්ව නොමඟ යවමින් මෙම මහා පරිමාණ වංචාව සිදු කර ඇති බවයි ඇමරිකානු නීතිපති කාර්යාලය පවසන්නේ.
මෙම වංචනික ක්රියාවලියේදී ඔහු ආයෝජකයින්ට පවසා තිබෙන්නේ ඔවුන්ගේ මුදල් චිත්රපට සහ විනෝදාස්වාද ව්යාපෘති සඳහා යොදවන බවයි. නමුත් ඇත්ත වශයෙන්ම ඔහු එම මුදල් කැනඩාවේ දේපළ වෙළඳාම් ව්යාපෘති සඳහා සහ පැරණි ආයෝජකයින්ට මුදල් ගෙවීමට යොදාගෙන තියෙනවා. මේ සම්බන්ධයෙන් ඔහුට එරෙහිව වයර් ෆ්රෝඩ් (wire fraud) චෝදනා හතක් යටතේ නඩු පවරා ඇති අතර, වරදකරු වුවහොත් එක් චෝදනාවකට වසර 20 බැගින් දීර්ඝ කාලීන සිරදඬුවම් විඳීමට ඔහුට සිදුවනු ඇති බවයි වාර්තා වෙන්නේ.
ජේසන් ක්ලෝත් මීට පෙර ‘බැබිලෝන්’, ‘ගෝස්ට්බස්ටර්ස්: ආෆ්ටර්ලයිෆ්’ සහ ‘ජුඩාස් ඇන්ඩ් ද බ්ලැක් මෙසායා’ වැනි ජනප්රිය නිර්මාණ රැසකට දායක වී තිබෙනවා. කෙසේ වෙතත්, මේ වන විට ඔහු ලොස් ඇන්ජලීස් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර, නීතිය ක්රියාත්මක කරන ආයතන විසින් ඔහුගේ වත්කම් අත්පත් කර ගැනීමේ කටයුතු ආරම්භ කර තියෙනවා. හොලිවුඩ් සිනමා ක්ෂේත්රයේ ප්රබල චරිතයක් මෙවැනි වංචාවකට හසුවීම බොහෝ දෙනා මවිතයට පත් කර තිබෙනවා.

Discussion & Feedback