හිටපු ප්රබල හොලිවුඩ් නිෂ්පාදක හාවි වයින්ස්ටයින්ට එරෙහිව ලොස් ඇන්ජලීස් අධිකරණය ලබා දී තිබූ ලිංගික අපයෝජන දඬුවම සම්බන්ධයෙන් මේ වන විට නව තීන්දුවක් ලැබිලා තියෙනවා. වයින්ස්ටයින්ගේ අභියාචනයක් සලකා බැලූ කැලිෆෝනියා අභියාචනාධිකරණය, ඔහුට නියම කර තිබූ වසර 16ක සිර දඬුවම අවලංගු කරමින් එය නැවත සලකා බැලිය යුතු බවට නියෝග කළා. මීට පෙර ඔහුට ලබා දුන් දඬුවම පදනම් වී තිබුණේ නිව්යෝර්ක් නඩුවකදී ඔහුට ලැබුණු දඬුවම් මත වුවත්, එම නිව්යෝර්ක් තීන්දුව පසුගිය කාලයේ අවලංගු වීමත් සමඟ මෙම තීරණය ගැනීමට අධිකරණයට සිදු වුණා. මේ නිසා වයින්ස්ටයින්ගේ සිර දඬුවම වසර 12ත් 14ත් අතර කාලයකට අඩු වීමේ ඉඩක් පවතින බවයි වාර්තා වෙන්නේ.
කෙසේ වෙතත්, වයින්ස්ටයින්ගේ නීතිඥ කණ්ඩායම මේ තීන්දුව සම්බන්ධයෙන් තවමත් සෑහීමකට පත් වෙලා නැහැ. ඔවුන් පවසන්නේ මෙම නඩු විභාගයේදී නීතිමය දෝෂ රැසක් සිදුවී ඇති බවයි. ඒ නිසාම ඔවුන් ඉදිරියේදී කැලිෆෝනියා ශ්රේෂ්ඨාධිකරණය වෙත ගොස් මෙම තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට සූදානම් වෙනවා. වයින්ස්ටයින් තවමත් තමන් නිවැරදි බව පවසමින් සිටියත්, ඔහුට එරෙහිව එල්ල වී ඇති චෝදනා සහ නීතිමය ගැටලු තවමත් අවසන් වී නැහැ. ඉදිරි මාස කිහිපයේදී නිව්යෝර්ක් නඩුවට අදාළව තවත් තීන්දු කිහිපයක් ලැබීමට නියමිත නිසා, වයින්ස්ටයින්ගේ නීතිමය සටන තවදුරටත් දිගු වනු ඇති බවයි විචාරකයින් පවසන්නේ.

Discussion & Feedback