මීට වසර මිලියන 66කට කලින් පෘථිවියට කඩා වැදුණු දැවැන්ත ග්රහකයක් නිසා ඩයිනෝසෝරයන් වඳවී ගිය බව අපි කවුරුත් දන්නා කාරණයක්. කලින් විද්යාඥයන් හිතුවේ මේ සිදුවීමෙන් පස්සේ ඇති වුණු දීර්ඝ ශීත සෘතුව නිසා ඔවුන් මිය ගියා කියලා. හැබැයි අලුත්ම පර්යේෂණයකින් හෙළි වෙලා තියෙනවා ඊට වඩා භයානක දෙයක් වෙලා තියෙනවා කියලා. ඒ තමයි ග්රහකය ගැටීමෙන් පස්සේ ඇති වුණු අධික උෂ්ණත්වයකින් යුත් ගිනි කුණාටු. මේ තාපය මිනිසුන්ට දරාගන්න පුළුවන් උපරිම සීමාව වගේ 17 ගුණයක් වැඩියි කියලා තමයි විද්යාඥයන් කියන්නේ.
මේ ග්රහකය ගැටුණු වෙලාවේ ඇති වුණු පාෂාණ වාෂ්ප සහ දූවිලි පෘථිවිය වටා ඝන ආවරණයක් විදිහට පැතිරිලා තියෙනවා. මේ දූවිලි තට්ටුව හරහා තාපය පිටතට යන්න බැරි නිසා පෘථිවි පෘෂ්ඨය එකපාරටම ගිනියම් වෙලා තියෙනවා. මේ උෂ්ණත්වය කොච්චරද කියනවා නම්, එළිමහනේ හිටපු සත්තු පැය කිහිපයක් ඇතුළත පිච්චිලා ගිහින්. විශේෂයෙන්ම තණකොළ සහ කුඩා ශාක ගිනි ගන්න තරමට මේ තාපය බලවත් වෙලා තියෙනවා. පොළොව යට හෝ වතුරේ හිටපු සත්තුන්ට විතරයි මේ විනාශයෙන් බේරෙන්න පුළුවන් වෙලා තියෙන්නේ.
පර්යේෂකයන් කියන විදිහට මේ දූවිලි ආවරණය පස්සේ කාලෙක සූර්යාලෝකය පෘථිවියට වැටීම වළක්වලා දීර්ඝ ශීත සෘතුවකටත් මග පාදලා තියෙනවා. දැනට මේ පිළිබඳ සාක්ෂි හම්බවෙලා තියෙන්නේ උතුරු ඇමරිකාවෙන් විතරයි. ඉතින් මේ ගිනි කුණාටු මුළු ලෝකය පුරාම පැතිරුණාද කියන එක තහවුරු කරගන්න තවත් පර්යේෂණ අවශ්ය වෙනවා කියලා තමයි විද්යාඥයන් වැඩිදුරටත් කියන්නේ.

Discussion & Feedback