අසූව දශකයේ තරුණ පරපුර අතර අතිශය ජනප්රිය වුණු ‘ද බ්රෙක්ෆස්ට් ක්ලබ්’ (The Breakfast Club) චිත්රපටයේ දෙවන කොටසක් නිර්මාණය කිරීමට එහි අධ්යක්ෂක ජෝන් හියුස් බලාපොරොත්තුවෙන් සිටි බව එම චිත්රපටයේ ප්රධාන නළුවෙකු වන ඇන්තනි මයිකල් හෝල් හෙළි කර තිබෙනවා. ඔහු මේ බව පවසා තිබුණේ ‘ද රිච් අයිසන් ෂෝ’ වැඩසටහනට එක්වෙමින්. චිත්රපටයේ සිටි ප්රධාන චරිත පහ, ඔවුන්ගේ වයස අවුරුදු තිහේදී නැවතත් එකතු වන ආකාරයේ කතාවක් නිර්මාණය කිරීමට හියුස් අදහස් කරගෙන සිටි බවයි ඇන්තනි පවසන්නේ. 1988 වසරේදී ජෝන් කැන්ඩි සමඟ දුරකථනයෙන් කතා කරමින් සිටියදී හියුස් මේ පිළිබඳව තමා සමඟ සාකච්ඡා කළ බවත්, ඔහු ඒ ගැන නිතරම සිතමින් සිටි බවත් ඇන්තනි සිහිපත් කරනවා.
ඇන්තනි මයිකල් හෝල් වැඩිදුරටත් පවසන්නේ ‘ද බ්රෙක්ෆස්ට් ක්ලබ්’ රූගත කිරීම් අතරතුරදී තවත් සුප්රසිද්ධ චිත්රපටයක් වන ‘වයර්ඩ් සයන්ස්’ (Weird Science) චිත්රපටයේ අදහසත් ජෝන් හියුස් තමාට පැවසූ බවයි. පරිගණකයක් හරහා ගැහැණු ළමයෙකු නිර්මාණය කරන තරුණයන් දෙදෙනෙකු පිළිබඳව එම කතාව ගෙතී තිබෙනවා. කෙසේ වෙතත්, 2009 වසරේදී ජෝන් හියුස් අභාවප්රාප්ත වීම නිසා මෙම දෙවන කොටස පිළිබඳ සිහිනය සැබෑ කරගැනීමට නොහැකි වුණා. කෙසේ වෙතත්, අදටත් ලොව පුරා රසිකයන් අතර මේ චිත්රපටය පිළිබඳව ඇත්තේ විශාල ආදරයක්. ඇන්තනි මයිකල් හෝල් ලබාදුන් මෙම සම්මුඛ සාකච්ඡාව මේ වන විටත් අන්තර්ජාලය තුළ බොහෝ දෙනාගේ අවධානයට ලක්වෙමින් පවතිනවා.

Discussion & Feedback