නාසා ආයතනයේ ආටෙමිස් 2 සඳ ගමන මේ දිනවල ලෝකයම කතාබහ කරන මාතෘකාවක් වෙලා තියෙනවා. මාර්තු සහ අප්රේල් මාසවලදී අභ්යවකාශගාමීන් හතර දෙනෙක් සඳ වටා ගිය මේ ඓතිහාසික ගමන නරඹන්න මිලියන 149.4කට අධික පිරිසක් නාසා ආයතනයේ නිල නාලිකා ඔස්සේ එකතු වෙලා තියෙනවා. 1972 වසරෙන් පස්සේ මිනිසුන් සඳ දෙසට ගිය පළමු ගමන මෙය වීමත්, විවිධ රටවලින් සහ පසුබිම්වලින් පැමිණි අභ්යවකාශගාමීන් මේ සඳහා එක්වීමත් නිසා මේ මෙහෙයුම ලෝකයේම අවධානය දිනාගන්න සමත් වුණා.
විශේෂයෙන්ම රොකට්ටුව අභ්යවකාශයට ගමන් කළ අවස්ථාවේ සහ නැවත පෘථිවියට ගොඩබැස්සවූ අවස්ථාවේ මිලියන ගණනක් ජනතාව සජීවීව එය නරඹා තිබෙනවා. අභ්යවකාශගාමීන්ගේ දෛනික වැඩකටයුතු, ඔවුන්ගේ අත්දැකීම් සහ සඳ මතුපිට දර්ශන ඉතා පැහැදිලිව ලොවටම දැකගන්න ලැබීම මෙහි සාර්ථකත්වයට ප්රධාන හේතුවක් වුණා. විශේෂයෙන්ම ආටෙමිස් 2 මෙහෙයුමේ අවසාන අදියරේදී අභ්යවකාශ යානය නැවත පෘථිවි වායුගෝලයට ඇතුළු වූ අවස්ථාව මිලියන 3.8කට අධික පිරිසක් සජීවීව නරඹා තිබීම කැපී පෙනෙන කරුණක්. මේ දත්තවලට අනුව නාසා ආයතනය තමන්ගේ ඉතිහාසයේ වැඩිම පිරිසක් සජීවීව නැරඹූ අභ්යවකාශ මෙහෙයුම ලෙස ආටෙමිස් 2 වාර්තා පොත් අතරට එක් කර තිබෙනවා.

Discussion & Feedback