මේ දවස්වල අන්තර්ජාලය සහ ස්පොටිෆයි වගේ දේවල් නිසා සීඩී (CD) තැටි ගැන කවුරුත් අමතක කරලා හිටියට, ආයෙමත් එක පාරටම සීඩී තැටිවලට ලොකු ඉල්ලුමක් ඇතිවෙලා තියෙනවා. ඇමරිකාවේ පටිගත කිරීමේ කර්මාන්ත සංගමය (RIAA) නිකුත් කරපු අලුත්ම වාර්තාවලට අනුව, 2026 වසරේ මුල් මාස හය ඇතුළත විතරක් සීඩී තැටි අලෙවියෙන් ලැබුණු ආදායම ඩොලර් මිලියන 171.1ක් දක්වා ඉහළ ගිහින් තියෙනවා. මේක පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව 58.6%ක විශාල වර්ධනයක්. ඒ වගේම අලෙවි වුණු සීඩී තැටි ප්‍රමාණයත් මිලියන 17.5ක් දක්වා වැඩි වෙලා තියෙනවා.
මේ වගේ පරණ තාක්ෂණයට ආයෙමත් තරුණ පරපුර ඇදී එන්න ප්‍රධානම හේතුව තමයි ඔවුන්ට දැනෙන අමුතුම ආසාව. විශේෂයෙන්ම Gen Z පරපුර මේ වගේ දේවල් හොයන්නේ, නිතරම නොටිෆිකේෂන් එන, ඇප්වලට ඇබ්බැහි වුණු ඩිජිටල් ලෝකයෙන් පොඩ්ඩක් මිදිලා, තමන්ට ඕන විදිහට තාක්ෂණය පාලනය කරන්න පුළුවන් කාලයකට යන්න තියෙන කැමැත්ත නිසා. සීඩී තැටි විතරක් නෙවෙයි, වයිනයිල් රෙකෝඩ්ස්, පැරණි කැමරා සහ ලෑන්ඩ්ලයින් දුරකථන වගේ දේවලුත් මේ වෙද්දී ආයෙමත් ජනප්‍රිය වෙමින් පවතිනවා.
මේ දත්තවලට අනුව, භෞතික මාධ්‍ය (Physical Media) අලෙවිය සමස්තයක් විදිහට 25.9%කින් වැඩි වෙලා තියෙනවා. ගොඩක් අය හිතුවේ ඩිජිටල් තාක්ෂණයත් එක්ක මේ දේවල් සදහටම නැති වෙලා යයි කියලා, හැබැයි මේ වෙනස්වීමෙන් පේන්නේ මිනිස්සු ආයෙමත් අතට අල්ලන්න පුළුවන් දේවල්වලට වැඩි කැමැත්තක් දක්වන බවයි. කොහොම වුණත්, මේක තාවකාලික රැල්ලක්ද නැත්නම් දිගටම පවතින දෙයක්ද කියන එක නම් කාලයත් එක්කම බලාගන්න පුළුවන් වෙයි.

Discussion & Feedback