මෙටා සමාගම ඇමරිකානු ප්රාන්ත 29ක් සමඟ ඇති කරගත් ඩොලර් බිලියන 18ක වන්දි ගෙවීමේ ගිවිසුම මේ දිනවල ලෝකයේම අවධානයට ලක්වෙලා තියෙනවා. මේ ගිවිසුමේ විශේෂම කාරණය තමයි, ළමයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් පියවර ගන්නා අතරම, මෙටා සමාගම විසින් ළමයින්ගේ දත්ත භාවිත කිරීම සම්බන්ධයෙන් අනාගතයේදී නඩු පැවරීමෙන් වළකින බවට ප්රාන්ත නීතිපතිවරුන් එකඟ වීම. මේක ඇත්තටම පුදුම හිතෙන තීරණයක්. මොකද, ළමා ආරක්ෂාව ගැන කතා කරන ගමන්ම මෙවැනි නීතිමය නිදහසක් ලබා දීම ගැටලු සහගතයි කියලා බොහෝ දෙනෙක් පවසනවා.
මෙටා සමාගමට සිද්ධ වෙනවා වයස අවුරුදු 13ට අඩු පරිශීලකයන් හඳුනාගැනීම සඳහා නව තාක්ෂණික ආකෘතියක් වසරක් ඇතුළත හඳුන්වා දෙන්න. මේ සඳහා ඔවුන්ට දත්ත භාවිත කිරීමට අවසර ලැබුණත්, ඒ දත්ත දැන්වීම් ප්රචාරණයට හෝ වෙනත් වාණිජ කටයුතුවලට යොදාගන්න බැහැ. නමුත් නීති විශේෂඥයන් පෙන්වා දෙන්නේ, මේ දත්ත වෙනත් පද්ධතිවලට කාන්දු වුණොත් හෝ වැරදි ලෙස භාවිත වුණොත් ඒ ගැන සොයා බැලීම ඉතාම අසීරු කාර්යයක් වෙන බවයි. ස්වාධීන විගණකවරයෙක් මේ ක්රියාවලිය නිරීක්ෂණය කරන බව පැවසුවත්, නීතිමය වශයෙන් මෙටා සමාගමට ලැබී ඇති මේ ආරක්ෂාව නිසා අනාගතයේදී ඔවුන්ට එරෙහිව නීතිය ක්රියාත්මක කිරීමේ හැකියාව සීමා විය හැකි බවයි විශේෂඥයන්ගේ අදහස වෙලා තියෙන්නේ.

Discussion & Feedback