ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් විසින් බීබීසී (BBC) ආයතනයට එරෙහිව ගොනු කර තිබෙන ඇමරිකානු ඩොලර් බිලියන 10ක වන්දි නඩුව ඉවත දමන්නැයි එම ආයතනය යළිත් වරක් අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා. ජනවාරි 6 වන දින කැපිටල් ගොඩනැගිල්ලට එල්ල වූ ප්රහාරය සම්බන්ධයෙන් බීබීසී ආයතනය විසින් විකාශය කළ වාර්තා වැඩසටහනක සංස්කරණය කරන ලද කොටස් සම්බන්ධයෙන් ට්රම්ප් මෙම නඩුව පවරා තිබුණා. එම වැඩසටහන ඇමරිකාව තුළ විකාශය නොකළ බවත්, VPN තාක්ෂණය භාවිතයෙන් ඇමරිකාවේ සිට එය නැරඹූ බවට ට්රම්ප්ගේ පාර්ශවය ඉදිරිපත් කරන තර්ක පදනම් විරහිත බවත් බීබීසී නීතිඥ කණ්ඩායම පවසනවා.
බීබීසී ආයතනය පෙන්වා දෙන්නේ ෆ්ලොරිඩා ප්රාන්තයේ සිට පුද්ගලයන් කිහිප දෙනෙකු අනවසරයෙන් මෙම වැඩසටහන නැරඹීමට උත්සාහ කළා යැයි පැවසුවද, එය නීතිමය වශයෙන් අධිකරණ බලයක් ඇති කර ගැනීමට ප්රමාණවත් නොවන බවයි. තවද, මෙම වාර්තා වැඩසටහන නිසා ට්රම්ප්ගේ කීර්තිනාමයට කිසිදු හානියක් සිදු නොවූ බවත්, ඔහු නැවත වරක් ජනාධිපතිවරණයෙන් ජයග්රහණය කර ඇති බවත් ඔවුන් අවධාරණය කරනවා. මෙම වැඩසටහන අදහස් ප්රකාශ කිරීමේ නිදහස යටතේ ආරක්ෂිත බවත්, ට්රම්ප්ට සිදුවූ බව කියන හානිය ඔප්පු කිරීමට ඔහු අපොහොසත් වී ඇති බවත් බීබීසී නීතිඥවරුන් අධිකරණයට දන්වා තිබෙනවා. මීට පෙර මෙම සිදුවීම සම්බන්ධයෙන් බීබීසී ආයතනය සිය කණගාටුව ප්රකාශ කර තිබුණත්, වන්දි ගෙවීමට එකඟ වී තිබුණේ නැහැ.

Discussion & Feedback