ලෝකයේ වැඩිම ගෝවා ප්‍රමාණයක් නිෂ්පාදනය කරන චීනයෙන් මේ දිනවල ඉතාමත් කනගාටුදායක පුවතක් වාර්තා වෙනවා. එරට වෙළෙන්දන් පිරිසක් ගෝවා දිගු කලක් නැවුම්ව තබා ගැනීම සඳහා මිනිස් සිරුරට අහිතකර ‘ෆෝමල්ඩිහයිඩ්’ (formaldehyde) නම් රසායනික ද්‍රව්‍යය භාවිත කරන බව අනාවරණය වී තිබෙනවා. සාමාන්‍යයෙන් මළ සිරුරු කල් තබා ගැනීමට සහ විද්‍යාගාරවල සාම්පල සුරක්ෂිත කිරීමට යොදාගන්නා මෙම රසායනිකය පිළිකා කාරකයක් ලෙස හඳුනාගෙන ඇති අතර, ආහාර ද්‍රව්‍ය සඳහා එය භාවිත කිරීම චීනයේ දැඩි ලෙස තහනම් කර තිබෙනවා.
මෙම සිදුවීම මුලින්ම සමාජ මාධ්‍ය ඔස්සේ එළියට ආවේ පරිසරවේදී බ්ලොග්කරුවෙකු විසින් නිකුත් කළ වීඩියෝවක් නිසයි. එහි ගෝවා තොග රසායනික ද්‍රාවණයක ගිල්වා ලොරිවල පටවන අයුරු පැහැදිලිවම දැකගන්න පුළුවන්. මේ සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වූ චීන බලධාරීන් අදාළ පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගෙන තිබෙනවා. රට පුරා වෙළඳපොළවල් පරීක්ෂා කරමින් පාරිභෝගිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමටත්, මෙවැනි ක්‍රියා තවදුරටත් සිදුවේදැයි සොයා බැලීමටත් රජය පියවර ගෙන තිබෙනවා.
චීනය වසරකට ටොන් මිලියන 30කට අධික ගෝවා ප්‍රමාණයක් නිෂ්පාදනය කරන අතර, ඉන් විශාල ප්‍රමාණයක් ආසියානු රටවලට අපනයනය කරනවා. මේ නිසා මෙම සිදුවීම ජාත්‍යන්තර අවධානයටත් ලක්ව තිබෙනවා. කෙසේ වෙතත්, බීජිං නුවර ප්‍රධාන වෙළඳපොළක් පවසන්නේ තම වෙළඳපොළට එවැනි විෂ සහිත ගෝවා ලැබී නොමැති බවයි. කෙසේ වුවත්, ලාභ අපේක්ෂාවෙන් මිනිසුන්ගේ ජීවිත අනතුරේ හෙළන මෙවැනි ක්‍රියා සම්බන්ධයෙන් එරට මාධ්‍ය දැඩි විවේචන එල්ල කරමින් සිටිනවා.

Discussion & Feedback