ලොව විශාලතම පෞද්ගලික කොටස් ආයෝජන සමාගම්වලින් එකක් වන ඇපලෝ ග්ලෝබල් මැනේජ්මන්ට් (Apollo Global Management) සමාගම තමන්ගේ දත්ත පද්ධතියට සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බව නිල වශයෙන් තහවුරු කර තිබෙනවා. පසුගිය ජූලි 6 සහ 10 අතර කාලසීමාවේදී මෙම ප්‍රහාරය සිදුව ඇති අතර, හැකර්වරුන් සමාජ ඉංජිනේරු (social engineering) ක්‍රමවේදයක් භාවිතා කරමින් සමාගමේ ක්ලවුඩ් පද්ධතියට ඇතුළු වී තිබෙනවා. මෙම සිද්ධිය හරහා සේවකයන්ගේ නම්, උපන් දින, ලිපිනයන් සහ සමාජ ආරක්ෂණ අංක ඇතුළු පුද්ගලික තොරතුරු විශාල ප්‍රමාණයක් සොරාගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.
මෑතකදී ගූගල් ආරක්ෂක පර්යේෂකයන් විසින් අනතුරු අඟවා තිබුණේ මූල්‍ය ආයතන ඉලක්ක කර ගනිමින් විශාල පරිමාණයේ සයිබර් ප්‍රහාර මාලාවක් ක්‍රියාත්මක වන බවයි. හැකර්වරුන් බොහෝ විට තමන් තාක්ෂණික සහාය අංශයේ (IT helpdesk) අය ලෙස පෙනී සිටිමින් සේවකයන්ව රවටා ඔවුන්ගේ මුරපද සහ ආරක්ෂක කේත ලබා ගන්නා බව හෙළි වී තිබෙනවා. ඇපලෝ සමාගම ඇතුළු තවත් ප්‍රධාන පෙළේ ආයතන කිහිපයක්ම මෙම කල්ලියේ ඉලක්ක බවට පත්ව ඇති අතර, සොරාගත් දත්ත ප්‍රසිද්ධ නොකර සිටීමට ඔවුන් කප්පම් මුදල් ඉල්ලා සිටින බවත් වාර්තා වෙනවා. දැනට ඇපලෝ සමාගම මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වන අතර, ඔවුන් කප්පම් මුදලක් ගෙවූවාද යන්න පිළිබඳව මෙතෙක් කිසිදු තොරතුරක් අනාවරණය කර නැහැ.

Discussion & Feedback