ඇමරිකානු හමුදා ලේකම්වරයා ලෙස කටයුතු කළ ඩෑන් ඩ්‍රිස්කෝල් පසුගියදා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. මාස 18ක් වැනි කෙටි කාලයක් තුළ හමුදා ලේකම්වරයා ලෙස කටයුතු කළ ඔහු, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සමීපතමයෙක් ලෙසයි ප්‍රසිද්ධ වුණේ. විශේෂයෙන්ම යුධ බිමේ නවීන තාක්ෂණය සහ ඩ්‍රෝන යානා භාවිතය සම්බන්ධයෙන් ඔහු දැක්වූ උනන්දුව නිසා ඔහුව ‘ට්‍රම්ප්ගේ ඩ්‍රෝන මිනිසා’ ලෙසත් බොහෝ දෙනා හඳුන්වනු ලැබුවා. වාර්තා වන පරිදි, ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් සමඟ පැවති දීර්ඝකාලීන මතභේද සහ ගැටුම් හේතුවෙන් ඔහු මෙම තීරණය ගෙන ඇති බවයි දැනගන්න ලැබෙන්නේ.
ඩ්‍රිස්කෝල්ගේ ඉල්ලා අස්වීම ඇමරිකානු ආරක්ෂක අංශ තුළ සිදුවන විශාල වෙනස්කම් මාලාවක තවත් එක් පියවරක් පමණයි. මීට පෙර නාවික හමුදා ලේකම් ජෝන් ෆෙලන් ඇතුළු ඉහළ පෙළේ හමුදා නිලධාරීන් රැසක්ම තම තනතුරුවලින් ඉවත් වුණා. ආරක්ෂක ලේකම් හෙග්සෙත් විසින් මේ වන විටත් ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් දස දෙනෙකුට වැඩි පිරිසක් සේවයෙන් පහ කර තිබීම විශේෂත්වයක්. ඩ්‍රිස්කෝල් යුක්රේන-රුසියානු යුද්ධය අවසන් කිරීමේ සාකච්ඡා සඳහා ද සක්‍රීයව දායක වූ අතර, උප ජනාධිපති ජේ.ඩී. වැන්ස්ගේ සමීප මිතුරෙකු ලෙසත් ඔහු ප්‍රසිද්ධයි. කෙසේ වෙතත්, ඔහුගේ ඉවත්වීම ඇමරිකානු හමුදා නායකත්වයේ ඉදිරි ගමනට කෙබඳු බලපෑමක් එල්ල කරයිද යන්න තවමත් පැහැදිලි නැහැ.

Discussion & Feedback