ජනප්‍රිය ස්මාර්ට් රින්ග් නිෂ්පාදකයෙක් වන Oura සමාගම මේ සැප්තැම්බර් මාසයේදී ඇමරිකානු කොටස් වෙළඳපොළට පිවිසීමට (IPO) සූදානම් වෙනවා. මේ හරහා ඩොලර් බිලියන 3ක පමණ මුදලක් රැස් කරගැනීමට ඔවුන් බලාපොරොත්තු වන අතර, සමාගමේ සමස්ත වටිනාකම ඩොලර් බිලියන 16 ඉක්මවනු ඇති බවයි වාර්තා වෙන්නේ. පසුගිය වසරේදී ඩොලර් බිලියන 10.9ක වටිනාකමක් තිබූ Oura සමාගම, ඉතා කෙටි කාලයක් තුළ මෙවැනි දැවැන්ත වර්ධනයක් ලබා ගැනීම කාගේත් අවධානයට ලක්ව තිබෙනවා. 2024 වසරේදී ඩොලර් මිලියන 500ක ආදායමක් උපයා ඇති ඔවුන්, 2026 වන විට එය ඩොලර් බිලියන 2ක් දක්වා ඉහළ නංවා ගැනීමට ඉලක්ක කරගෙන සිටිනවා.
කෙසේ වෙතත්, මේ සාර්ථකත්වය අතරතුර Oura සමාගමට යම් යම් අභියෝගවලටත් මුහුණ දීමට සිදුව තිබෙනවා. ඔවුන්ගේ ස්මාර්ට් රින්ග් එක මගින් නින්දේ ගුණාත්මකභාවය මැනීමේදී පාරිභෝගිකයන් නොමඟ යවන බවට චෝදනා කරමින් සැන් ෆ්රැන්සිස්කෝහිදී නඩුවක් ගොනු කර තිබෙනවා. නින්දේ අවධීන් නිවැරදිව හඳුනා ගැනීමට රෝහල් මට්ටමේ උපකරණ අවශ්‍ය බවත්, ස්මාර්ට් රින්ග් එකක් මගින් එය කළ නොහැකි බවත් පැමිණිලිකරුවන් පවසනවා. නමුත් Oura සමාගම මේ චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන අතර, තම නිෂ්පාදනය ස්වාධීන පර්යේෂණ මගින් සාර්ථක බව ඔප්පු වී ඇති බවත්, නීතිමය වශයෙන් මේ සඳහා මුහුණ දීමට සූදානම් බවත් ප්‍රකාශ කර තිබෙනවා. වෙළඳපොළේ Samsung වැනි දැවැන්තයන් සමඟ තරඟ කරමින් ඉදිරියට යන Oura සමාගමේ ඉදිරි ගමන කෙබඳු වේවිද යන්න ඉදිරි මාස කිහිපය තුළ බලාගන්න පුළුවන්.

Discussion & Feedback