බොලිවුඩ් චිත්රපටයක දකින්න ලැබෙන වගේ හරිම අපූරු කතාවක් නෙදර්ලන්තයේ ජීවත් වන ඉන්දියානු සම්භවයක් ඇති කාන්තාවන් දෙදෙනෙකුගේ ජීවිතවලින් අහන්න ලැබෙනවා. මීනා ගෙල්ටින්ක් සහ මිනාල් ටිජ්සන් කියන්නේ කුඩා කාලයේදීම ඉන්දියාවේ මුම්බායි නුවරින් දරුකමට හදාගන්නා ලද දෙදෙනෙක්. ඔවුන් දෙදෙනා මුලින්ම මුණගැහෙන්නේ යොවුන් වියේදී පැවැත්වුණු දරුකමට හදාගත් දරුවන්ගේ හමුවකදීයි. ඒ වෙලාවේම ඔවුන් දෙදෙනාගේ පෙනුමේ සහ හැසිරීමේ තිබුණු සමානකම් නිසාම ඔවුන් එකිනෙකාට හරිම සමීප වුණා. ඒ කාලේ ඔවුන් එකිනෙකාව ‘සහෝදරිය’ කියලා ආමන්ත්රණය කළත්, ඔවුන් ඇත්තටම සහෝදරියන් කියලා දැනගෙන හිටියේ නැහැ.
කාලයත් එක්ක ඔවුන්ගේ සම්බන්ධය ගිලිහී ගියත්, මෑතකදී මිනාල් කරපු DNA පරීක්ෂණයකින් ඇත්ත හෙළි වුණා. ඇය ඒ ගැන මීනාට දැනුම් දුන්නාම, මීනාත් පරීක්ෂණයක් කරලා බැලුවා. එහිදී ඔවුන් දෙදෙනා 100%ක්ම එකම මවකගේ සහ පියෙකුගේ දරුවන් බව තහවුරු වුණා. මේ ආරංචියෙන් ඔවුන් දෙදෙනාම පුදුමයට වගේම ලොකු සතුටකට පත් වුණා. අවුරුදු ගණනාවක් තිස්සේ ඔවුන්ගේ හිතේ තිබුණු හිස්තැන මේ DNA පරීක්ෂණයෙන් පිරී ගියා වගේ ඔවුන්ට දැනුණා.
අගෝස්තු මාසයේදී ඔවුන් නැවත මුණගැහුණු මොහොත හරිම සංවේදී එකක් වුණා. ‘අපි සහෝදරියන් වෙන්න කලින් හොඳම මිතුරියන් වෙලා හිටියා, ඇත්තටම අපි හැමදාමත් සහෝදරියන් වෙලා තමයි හිටියේ, ඒත් අපි ඒක දැනගෙන හිටියේ නැහැ’ කියලා මිනාල් හරිම ආදරෙන් කියනවා. මේ වන විට මීනා සහ මිනාල් දෙදෙනාම තමන්ගේ පවුල් ජීවිත ගත කරන අතර, ඔවුන්ගේ මේ අපූරු බැඳීම දැන් මුළු ලෝකයේම අවධානය දිනාගෙන තියෙනවා.

Discussion & Feedback