පසුගිය සෙනසුරාදා බඩල්ගම, පේරගහමන්කඩ ප්රදේශයේ මහා ඔයේ දිය නෑමට ගිය තරුණ තරුණියන් සිව්දෙනෙක් අවාසනාවන්ත ලෙස දියේ ගිලී මියගොස් තියෙනවා. මේ සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්වුණේ අවුරුදු 25ක් වයසැති තරුණයෙක් සහ අවුරුදු 19, 20 හා 28 යන වයස්වල පසුවන තරුණියන් තිදෙනෙක්. මොවුන් පිරිසක් දියේ ගිලී අතුරුදන් වී ඇති බවට ප්රදේශවාසීන්ගෙන් ලැබුණු තොරතුරකට අනුව බඩල්ගම පොලිසිය වහාම ක්රියාත්මක වෙලා ප්රදේශවාසීන්ගේත් සහාය ඇතිව සෝදිසි මෙහෙයුමක් දියත් කළා. පසුව සිදුකළ සෝදිසි කිරීම්වලදී එම සිව්දෙනාගේම මළ සිරුරු සොයාගන්න පුළුවන් වුණා.
පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වුණේ මියගිය තරුණයා ඕහිය ප්රදේශයේ පදිංචිකරුවෙක් බවත්, තරුණියන් තිදෙනා දෙමෝදර ප්රදේශයේ පදිංචිකාරියන් බවත්ය. මොවුන් සිව්දෙනාම බඩල්ගම පොලිස් වසමේ පිහිටි පෞද්ගලික ආයතනයක සේවය කරන අය බවයි වාර්තා වෙන්නේ. මේ වන විට මියගිය අයගේ දේහයන් පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා මීගමුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කරලා තියෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් බඩල්ගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදුකරමින් පවතිනවා.

Discussion & Feedback